භාරතයේ ප්‍රවීණ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් සදහටම නිහඬ වෙයි

ප්‍රවීණ භාරතීය ගීත කෝකිලාවිය මෙන්ම භාරත සිනමාවේ විශිෂ්ටතම ගායන ශිල්පිනියක වන ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වූවාය.
කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඇය පසුගිය ජනවාරි 11 දා මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබු අතර නියුමෝනියා තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඇය අද (6දා) උදෑසන රෝහලේ දී මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
මිය යන විට ලතා මංගේෂ්කාර්ගේ වයස අවුරුදු 92කි. චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස ප්‍රකට භාරත සිනමාවේ විශිෂ්ටතම ගායන ශිල්පිනියක වන ලතා මංගේෂ්කාර්, වෛජයන්තිමාලාගේ සිට ප්‍රීති සින්ටා දක්වා වූ රංගන ශිල්පිනියන්ට සිය ස්වරයෙන් පණ පෙවූ මහා ගීත කෝකිලාවියද වීය.
හින්දි, මරාටි, බෙංගාලි ඇතුළු ඉන්දීය භාෂා සහ විදේශීය භාෂා 36කින් ගීත 30,000කට අධික ගණනක් ගායනා කිරීම හේතුවෙන් ගිනස් වාර්තා පොතටද ඇතුළත් වීමටද ලතා මංගේෂ්කාර්ට හැකිවු අතර ඇය සිංහල භාෂාවෙන්ද ගීතයක් ගායනා කර තිබීම ශ්‍රී ලංකාව පැත්තෙන් බැලූ කළ තවත් විශේෂත්වයකි. එම සිංහල ගීතය ගායනා කළේ “සැඩ සුළං” චිත්‍රපටය සඳහාය.
1945 දී මධුබාලා රඟපෑ “මහල්” චිත්‍රපටයේ “ආයේගා ආනේවාලා… ” ගීතයෙන් මංගේෂ්කාර්, භාරතයේ ඇයගේ ජනප්‍රියත්වයට එදා ආරම්භයක් ලබා ගත්තාය.
1929 සැප්තැම්බර් 28දා උපත ලද ලතා මංගේෂ්කාර් භාරත රත්න, පද්ම විභූෂන්, පද්ම භූෂන් වැනි ඉන්දියාවේ ඉහළම සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙන අතර , සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වූවාය. ගායිකා ආශා බෝස්ලේ ද ඇයගේ සහෝදරියකි.

ලතා මංගේෂ්කාර්ගේ අදාහන කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරුවේ සිදුකෙරුන අතර මෙම ශෝක ජනක සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය රජය විසින් දින දෙකක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.