මීළග පොදු අපේක්ෂකයා අර්ජුන රණතුංගද?

  • දේශපාලනයේ තිත්ත ඇත්තඑක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට අපේක්ෂා නොකරන බවත් අලුත් ක්‍රමයකින් රටට සේවය කිරීමට කැමැති බවත් මල්වතු අස්ගිරි නාහිමියන් බැහැ දුටු අවස්ථාවේදී පැවසීය.
    කෙසේ වෙතත් මීළග ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් අර්ජුන රණතුංග මහතා ඉදිරිපත්වීමේ වැඩි අවස්ථාවක් ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඊට හේතුව කෝවිඩ් වසංගය හමුවේ රට මුහුණ දී ඇති අසීරු තත්ත්වය හමුවේ පවතින ආණ්ඩුවට දැඩි විරෝධතා එල්ලවීමයි.
    කෙසේ වෙතත් ජනතාවට විකල්ප පක්ෂ කෙරෙහිද විශ්වාසයක් නොමැති බැවින් පක්ෂ කිහිපයක එකමුතුවකින් අර්ජුන රණතුංගව පොදු අපේක්ෂකයා කරලීමේ මෙහෙයුමක් දියත් වෙමින් පවතින බවට වාර්තා වේ. අර්ජුන රණතුං 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනවූ නායකයා වන අතර ඔහු පක්ෂ කිහිපයකින්ම තරග කරමින් ජයග්‍රහණ ලබාගත්තද පසුගිය මහා මැතිවරණයේදී පරාජයට පත්විය.
    පාකිස්තානයේ ඉම්රාන් ඛාන්ද එරටට ලෝක කුසලාන දිනා දුන් නායකයෙක් වශයෙන් වසර 17 ක කාලයක් දේශපාලනය පිටියේ ඉදිමින් පසුව රටේ නායකත්වයට පත්විය. ඔහු වර්තමානයේ දක්ෂතම රාජ්‍ය නායකයකු වශයෙන් ආසියානුවන් හඳාුන්වනු ලබයි. අර්ජුන රණතුංගද එසේ රටේ නායකත්වයට පත්විය යුතුයැයි ඇතැමුන් මේ දිනවල පවසමින් සිටති.
    අර්ජුන රණතුංග මහතා ඒ සම්බන්ධව පවසන්නේ මෙවැනි අදහසකි;
    ‘වෙනම පක්ෂයක් හදන්න හෝ පවතින පක්ෂයක් සමග එකතුවී දේශපාලනයේ නිරතවීමට අදහසක් නැහැ. රටට අවශ්‍ය නව දේශපාලන ක්‍රමයක්. ඒකට අවශ්‍ය සහය ලබාදෙනවා. පක්ෂ දේශපාලනය තුළ සිරනොවී ස්වාධීනව ඉඳිමින් රට වෙනුවෙන් යුතුකම් ඉටු කරනවා. මේ රටට පවතින දේශපාලනය තුළින් යහපතක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් අවශ්‍යයි. අපි ගොඩනගන්න උත්සහ කරන්නෙත් එයයි. ඒ සඳහා පුද්ගලයන් සහ කණ්ඩායම් කිහිපයක් සමග මා සාකච්ඡා කළා.’ යැයි අර්ජුන රණතුංග මහතා මල්වතු අස්ගිරි මහානාහිමියන් බැහැදුටු අවස්ථාවේදී වැඩිදුරටත් පැවසීය.
    මීට පෙර සරත් ෆොන්සේකා මහතා 2010 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වීමට පෙර අර්ජුන රණතුංගටද පොදු අපේක්ෂකයා වශයෙන් තරග කිරීමට පක්ෂ කිහිපයකින් ආරාධනා පැමිණි බවත් ඔහු වරෙක පැවසීය. වර්තමානයේ ඔහු කරන උත්සහය රටේ ජනාධිපතිවරයණයට ස්වාධීනව හිදිමින් ඉදිරිපත්වීමට යන වැඩපිළිවෙලක් යැයි බොහෝ දෙනා පවසයි.
  • පොලිටික් රයිටර්