නැව් නැති සංස්ථාවට නැව් අරන් දුන්නේ මහින්ද ජනාධිපතිතුමා

 

  • පනස් වසරක් පිරෙන නැව් සංස්ථාවේ අලුත් ගමන ගැන සභාපති නීතිඥ විනින්ද්‍ර වීරමන් කතා කරයි
  • සියලු වාණිජ නාවික කේෂ්ත්‍ර එක් කර, රට නාවික මධ්‍යස්ථානයක් කරන ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් සැලසුමක්

පනස් වෙනි සංවත්සරය සමරන ජාතියේ නාවික යාත්‍රිකයාට සාඩම්බර මෙන්ම දුක්බර අතිතයක්ද තිබේ. සැලෙන මුහුද වෙනස් වුවද, ඒ වෙනස්වීම හමුවේ ඉදිරීය බලා ගමන් කිරීම නාවිකයාගේ කාර්යය. සියලු හැලහැප්පීම්, පැදීම්, රජ ගමනේ යෑම් ආදියට ඔරොත්තු දෙන නැවක් සේ, ලංකා නැව් සංස්ථාව සිය පනස් වෙනි සංවත්සර කණුව දැන් පසු කිරීමට සුදානම් වි සිටියි. ජනතාව මනස සමග එතරම්ම ගැට නොගැසුණු ආයතනයක් වුව ද ලංකා නැව් සංස්ථාව යනු ලංකා තේ මෙන්ම ලෝකය පුරා අපේ ධජය ප්‍රචලිත කළ නාමයකි. ඒ සන්නාමය දැන් සුදානම් වන්නේ කුමකටද…? වාණිජ නාවික ආර්ථිකයෙන් දේශය ජය දද නංවන දිනයක් කරා ඔවුන් සිය යාත්‍රාව දියත් කරන්නේ කෙසේද…? ලංකා නැව් සංස්ථාවේ අතීතයේ සිට පනස් වසරින් පසු දියත් වන ඉලක්කය පිළිබදව මේ සංවාදය දියත් වේ. කතාබහේ සම්ප්ත්දයකයා, නැව් සංස්ථාවේ වත්මන් කප්පිතා හෙවත් සී/ස ලංකා නැව් සංස්ථාවේ සභාපති නීතිඥ විනින්ද්‍ර වීරමන් මහතාය.

ප්‍රශ්නය – මේ යුගයේදී රාජ්‍ය ආයතනයක සභාපතිත්වය ලබා ගන්නේ එම ආයතනය දියුණු කිරීම කියන අරමුණට නොවන බව පොදුවේ ජනතා පිළිගැනීමයි. ඒ අර්ථයෙන් අපි මුල්ම ප්‍රශ්නය ඔබට යොමු කරන්න කැමතියි. ඔබ ලංකා නැව් සංස්ථාවේ සභාපතිධුරය භාර ගත්තේ කුමන අරමුණකින්ද…?

පිළිතුර – වෘත්තියවේදියෙකු ලෙස මා වැනි පුද්ගලයන්ට තමන්ගේ කේෂ්ත්‍රය තුළ ඕනෑ තරම් අවස්ථා තිබෙනවා. එසේ තිබියදී මම මේ තනතුර ලබා ගැනීමට කල්පනා කළේ, මේ ආයතනය සදහා මගේ උපරිම දායකත්වය ලබා දෙන්න. එහෙම නැතුව මේ තනතුරෙන් බැබලෙන්න මගේ අරමුණක් නැහැ. මේ තනතුර බබලවලා යන්නයි මට අවශ්‍ය. එදා ජනාධිපතිවරණයේදී මමත්, මා වටා සිටින පිරිසට ප්‍රකාශ කළේ, අපි මේ අවුරුදු පහේදී මේ රට හදනවා කියලා. ඒ සදහා තමයි මේ ආවේ…

ප්‍රශ්නය – ඔබට ලැබිලා තියෙන්නේ ගරා වැටුණු සංස්ථාවක සභාපතිකමක්… මේ සංස්ථාවට සමහරු කිව්වේ නැව් නැති නැව් සංස්ථාව කියලා… මේකේ කරන්න පුලුවන් දේ මොකක්ද කියලා කාට හරි හිතෙන්න පුළුවන්…

පිළිතුර – ඒ කාරණය සදහා මම එහෙම්ම එකග වෙන්නේ නැහැ. මේ සංස්ථාව අපේ රටේ ආඩම්බරයේ කොටසක්. කෙනෙකුට නිකම්ම ආඩම්බර වෙන්න බැහැනේ… නැව් සංස්ථාවත් එහෙමයි. අපි ආඩම්බර වෙන්නේ අතීතය ගැන පමණක් කතා කරලා නෙමෙයි. මේ ජාතියේ වාණිජ නාවික යාත්‍රිකයා. ඒ ආඩම්බරය වෙන කාටවත් ගන්න බැහැ. ඇත්ත… එහෙම අතීතයක් වගේම දුක්බර අතිතයකුත් අපිට තිබුණා. එසේ වූ පමණින් අප අසමත් නැහැ. එවැනි තාවකාලික පසුබැසීම් ගැන මතක් කරලා, මේ ආඩම්බරය සැහැල්ලු කරන්න එපා කියලා මම කියනවා. ඒ අපේ වර්තමානය සහ අනාගතය ගැන බලලා. අපි අදත් මේ රටට නාවිකයන් බිහිකරන එකම ප්‍රයෝගික අංශය. ඒක වුණත් ඇති අපේ ආඩම්බරයට. මම ඒ කිව්වේ එක දෙයක් විතරයි. මේ රටේ විදේශ විනිමය ඉතිරි කරමින්, ගල් අගුරු ප්‍රවාහනය සදහා අපි දෙන දායකත්වය සුළු නැහැ. ඒ සදහා අපි මාස හයක් අපේ නැව් දෙක යොදවනවා. ඊළගට ඉතිරි මාස හයම අපි ජාත්‍යන්තර වෙළද නාවික කටයුතු වල නිරත වෙනවා. නැවක් කියන්නේ සම්පතක්… ඒ සම්පත අප සතුව තිබෙනවා. අපි එතැනින් නතර වෙලා නැහැ. නෛතිකව රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු වාණිජ සමුද්‍රීය ප්‍රවාහන අයිතිය තියෙන්නේ අපිට. ඒ වෙනුවෙන් අපි අලුත් සැලසුමක් සකස් කර තිබෙනවා. විශේෂයෙන්ම ඛනිජ තෙල් ප්‍රවාහනයේදී වැය වෙන විදේශ විනිමය ඉතිරිකර ගැනීම සදහා අපි මේ වන විටත් ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සමග සාකච්ඡා කරමින් සිටිනවා. එවැනි අපිට නොලැබුණු, අපි අතනොගැසූ කේෂ්ත්‍ර ගණනාවක් සදහා අපි දැන් සැලසුම් සකස් කරමින්, ප්‍රවේශ වීමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – ඔබ සදහන් කරන පරිදි වාණිජ නාවික කේෂ්ත්‍රයේ පල ප්‍රයෝජන ගැනීම සදහා වියදම් වන ප්‍රාග්ධනය අසීමිතයි. අද රජය මුහුණ දී තිබෙන්නේ වසංගත තත්ත්වයක් සමග ආර්ථික හයිය කියන දේ පහසු නැහැ. ඒ නිසා රජයට ඔබගේ ආයතනය වෙනුවෙන් වියදම් කරන්න මුදල් තියෙනවාද…?

පිළිතුර – මම ඔබගෙන් අහන්නේ මේ දකින බිලියනපතියන් කවුරුවත් උපතින් සල්ලි අරගෙන ආපු අයද…? නැහැ… එහෙනම් ඒ අය ප්‍රකෝටිපතියන් වුණේ කොහොමද…? ස්වීප් අදිලද…? ඒ තමයි අපේ න්‍යාය… අපිට නිවැරදි උපාය මාර්ගයක් තියෙනවා නම්, නායකත්වය ලබා දෙනවා නම්, ඔය කිසිවක් අභියෝග නෙමෙයි. මේ නාවික කේෂ්ත්‍රය, මහ මුහුද මැද  කියන්නේ බොහෝ දෙනාට බය ඇති කරන ස්ථානයක්… ඒ වුණාට නාවිකයෝ ඒක සම්පතක් කරගත් උදවිය. ඒ තමයි අපේ උරුමය. අද ප්‍රාග්ධන ආදී ගැටළු විශාල ප්‍රශ්න නෙමෙයි. මම මේ සදහා උදාහරණයක් කියන්නම්. මේ ළගකදී මම ගුවන් විදුලි සංස්ථාවේ සාකච්ඡාවකට සහභාගී වුණා. ඒක අහගෙන හිටපු මහත්තයෙක් මට කතා කළා. ඔහු ඉතාලියේ කාලයක් සේවය කරපු කෙනෙක්. ඔහු මට හොද යෝජනාවක් කළා. ඔහුගේ මිත්‍රයෙකු වන බිලියනපතියෙකු සමග නව නැව් සදහා රාජ්‍ය – පුද්ගලික හවුල්කාරිත්වයකට යමු කියලා කිව්වා. මේ තියෙන්නේ අවස්ථා. එහම ආණ්ඩුවටම බරක් වෙන්න අපිට අවශ්‍ය නැහැ. සෞභාගයේ දැක්ම කියන්නේ මේ රටේ හීනය සදහා සැකසුණු ප්‍රතිපත්තිය. දිනන්න බැහැ කියපු යුද්ධය දිනවපු ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් අපිට ඉන්නේ… ඔවුන් කියලා දීපු පාඩම තමයි “රට වෙනුවෙන් බැරි දෙයක් නැහැ” කියන ඒක. අපි හිතන විදිහ වෙනස්… ඒ නාවික මනස… ගොඩ ඉදන් නෙමෙයි, මුහුදට බැහැලා පීනන මිනිස්සුන්ගේ කේෂ්ත්‍රයක් මේක.

ප්‍රශ්නය – ඔබගේ සැලසුම කුමක්ද…?

පිළිතුර – ඇත්ත 1985 වෙනකොට අපිට නැව් 17 ක් තිබ්බා. පස්සේ කාලෙක අපිට එක නැවක්වත් තිබ්බේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා ජනධිපති වූ යුගයේදී අපිට නැව් දෙකක් අරගෙන දුන්නා. ඒ තමයි අපේ ගමන. දැන් අපි එතැනින් නවතින්නේ නැහැ. අපි දැන් නව වෙළද අංශ සදහා ප්‍රවේශ වි සිටිනවා. අනුබද්ධ ජාලය ශක්තිමත් කරමින් සිටිනවා. අනිත් පැත්තෙන් මේ පුහුණුව කියන දෙය ඉතා වැදගත්. මේ රටේ වෙළද නාවික පුහුණුව සදහා ප්‍රයෝගිකව අපි ලබා දෙන දායකත්වය තව වැඩි කරන්න ඕනේ, ඒක අපේ වගකීමක්… වර්තමාන වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොළ තමන්ගේ වෘත්තිය ජීවිතය ආරම්භ කළේ මේ නැව් සංස්ථාවෙන්… ඔහු වගේ නාවිකයන් සිය දහස් ගණනක් අපි බිහි කරලා තියෙනවා. මේ වගේ පුහුණු ශ්‍රමික බල ගණයක් ලෝකයටම ලබා දෙන්න අපිට පුළුවන්, අද පිලිපීනයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ, ඒ රටේ නාවිකයෝ ලෝකය පුරා නැව් සමාගම්වල සේවය කරලා, රටට ගේන ආදායම. ශ්‍රී ලංකාවේ වෙළද නාවිකයෝ බිහි කරන තිබිරිගෙය අපි. එය පුළුල් කිරීමකට භාජනය කිරීමට අපි සැලසුම් සකස් කර තිබෙනවා.

එසේම දැනට පවත්නා යාත්‍රා ගණයට අමතරව වැඩි වාසි අත්පත් කර ගත හැකි අවස්ථාවලදී, නැව් කුලියට ගැනීම ආදිය සදහාත් අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා ධජය නැව් ලියාපදිංචිය සදහා දිරිගන්වා අපි මේ රටට නව විදේශ විනිමය අත්පත් කර දෙන්නේ සැලසුම් සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි නව නිවහනකට යම සදහා සියලු කටයුතු සුදානම් කරලා ඉවරයි. එවැනි අඩිතාලම් ගණනාවක් දැන් අපි දාලා ඉවරයි.

ප්‍රශ්නය – දැන් නැව් සංස්ථාවට වසර පනහක් වෙනවා. ඒ කියන්නේ නැව් සංස්ථාවට නව හුස්මක් ගන්න හොද අවස්ථාවක් දැන් ලැබිලා තියෙනවා…

පිළිතුර – එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තමයි මේ සංස්ථාව ආරම්භ කළේ. කලුගල්ල ඇමතිතුමා තමයි අමත්‍යවරයා. මේ රටම දන්නා ලංකා රාණි නැව තමයි අපි ඒ සංස්ථාව පිහිටුවා ගැනීමෙන් පසු ගත්ත මුල්ම නැව. මේ වගේ නැව් ගණනාවක් අපිට තිබ්බා. ඊට පස්සේ බහලුම් නැව් ගණනාවක් අපි මිළදී ගත්තා. අද අපි ළග සිලෝන් බ්‍රිෂ් සහ සිලෝන් ප්‍රින්සස් කියන නැව් දෙක තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා මේ ආසන්න කාලයේදී ශ්‍රීලංකාවේ සිටින වාණිජ නාවික කේෂ්ත්‍රයට සම්බන්ධ සියලු ප්‍රධානින් ගෙන්වලා සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ අනුව මේ වෙළද නාවික කේෂ්ත්‍රයේ ඒකාබද්ධ වැඩ සටහනක් එතුමා අපිට යෝජනා කළා. එතුමාගේ ඒ සැලසුම සපල කිරීම සදහා අපි දායකත්වය ලබාදෙනවා. ශ්‍රී ලංකාව නාවික මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සදහා එතුමා අපෙන් යෝජනා ලබා ගත්තා. ඒ වෙලාවේ මමත් යෝජනා දෙකක් ඉදිරිපත් කළා. ඒ අනුව මේ රටේ නැව් නිෂ්පාදනය සදහා අවස්ථාවක් උදා කර ගැනීම සහ නෞකා අලුත්වැඩියාව කියන දෙකම අපි කළ යුතුව තිබෙන බව මම පේනවා දුන්නා. ඒකත් අපේ ඉලක්කයක්. අපි තනි ගමනක් යනවා වෙනුවට මේ වගේ ඒකාබද්ධ වැඩ සටහනක් යටතේ මේ කේෂ්ත්‍රයේ සියලු දෙනාම ඒක තැනකට එකතු වුනොත් අපිට පහසුවෙන් කරන්න පුලුවන්.

අපේ රට පහු කරලා දෛනිකව නැව් හයසියයක් යනවා. ඒ සියලු දෙනා අපිව පහු කරලා ගියාට සමහර සේවා ලබා ගන්න වෙනත් රටවලට යනවා. අපේ රටේ තෙල් මිළ වැඩියි. ඒ සදහා හේතුව අපේ ගබඩා පහසුකම් අඩුවීමයි. අපේ ජිසීටී අංගනයේ තිබෙන උපරිම ඉන්ධන ධාරිතාවය මෙට්‍රික් ටොන් 35000යි. හම්බන්තොට වාරයේ මෙට්‍රික් ටොන් 70000යි තියෙන්නේ. පසුගිය දිනයක අනතුරට ලක්වුණු, තෙල් නැවේ විතරක් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකට ආසන්න ඉන්ධන ප්‍රමාණයක් තිබ්බා.  ඒ ඒක නැවක ධාරිතාවය. අපේ රටේ මුළු ධාරිතාවය වගේ තුන් ගුණයකට ආසන්නයි. මේ ගබඩා පහසුකම අපි දියුණු කර ගන්න ඕනේ. ඒකත් මම ගරු ජනාධිපතිතුමාට එදා පෙන්වලා දුන්නා. තෙල් මිළ අඩු කරන්න ඕනේ නම් අපි ධාරිතාවය වැඩි කර ගන්න ඕනේ. මේ සදහා අපිට ගොඩබිම විතරක් නෙමෙයි, මහ මුහුදත් උපයෝගී කර ගන්න පුළුවන්. මේ වැඩේ හරියට කරන්න පුළුවන් නම් අපිට සිංගප්පුරුව සමග තරග කරන්න පුළුවන්. අපි වසරකට තෙල් විකුණන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ පහයි. සිංගප්පුරුව වසරකට තෙල් මෙට්‍රික් ටොන් මිලියන 42ක් විකුණනවා. මේ වගේ නෞකා සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමේන් පමණක් අපිට මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුලුවන්.

මේ සියල්ල අනුව තමයි අපි පනස් වසරින් පසු සැලසුමට යන්නේ.

සාකච්ඡා කළේ

මනෝජ් අබයදීර