හමුදාව ඉස්සරහට දාල රටක් ගොඩගන්නවා කියන එක බොරු – ජෙනරාල් දයා රත්නායක

ක්‍රීඩාවෙන් ඉඳ හිට ලබා ගන්නා ජයග්‍රහණ හැරුණ විට මෙරට ක්‍රීඩාව ඉතාම කණගාටුදායක
තත්වයකට පත්වී ඇති බවත් ක්‍රීඩාවේ පමණක් නොව රටේ සෑම අංශයකම තත්වය එසේ යැයි කීමට
තමන්ට සිදුවන බවත් හිටපු යුද හමුදාපති හා ජාතික ක්‍රීඩා සභවේ හිටපු සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා
රත්නායක මහතා පැවැසීය.
ඒ මහතා මෙම අදහස් පළකළේ පසුගියදා පැවැති දෙවැනි සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේ විශේෂ
ආරාධිතයෙකු ලෙස සහභාගී වෙමිනි.

”උගත් බුදධිමත් පිරිස් සම්බන්ධ වෙලා සමාජයක පෙරගමන්කරුවන් වෙන්නට ඕන ඒ අයයි.
එවන් අය පෙරගමන්කරුවකු වී නොසිටීම තුළ තමයි සොල්දාදුවා පෙරගමන්කරුවකු කරලා යුද්ධ
කරන්නෙ. සොල්දාදුවා පෙරගමන්කරුවකු කරන සමාජයක් කවදාවත් ලෝකෙ දියුණු ‍වෙලා නැහැ.
සොල්දාදුවෝ පාලනය කරන රටවල් හමුදා පාලනය තිබෙන රටවල් ලෝකෙ කිසිම තැනක දියුණු වෙලා
නැහැ.” යනුවෙන් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයාද වන දයා රත්නායක මහතා තවදුරටත් පැවැසීය.

හිටපු යුද හමුදාපතිවරයා සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේදී කළ සම්පූර්ණ කතාව මෙසේය.

“මේ සන්ධ්‍යාව ඉතාමත් සන්තෝෂමත් මෙහොතක්. ඒ වගේම මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා
ලෙස පැමිණි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැති තුමා අද හරබර කතාවක් කළා. බොහෝ දෙනා ප්‍රකාශ
කළා වගේ එතුමා මේ රටේ ක්‍රීඩාවේ ලොකු වෙනසක් කරාවි කියල අපි සෑම දෙනාම බලාපොරොත්තු
වෙනවා. අවුරුදු 73ක් මේ රට මේ තත්වයට ගෙනැල්ලා අපි නිදහස ලබල තියෙන රටේ ක්‍රීඩාවෙන් ඉඳලා
හිටලා ජයග්‍රහණ ලබා ගත්තට ඒවාගෙ පැවැත්මක් නැති එක ලොකු අඩුපාඩුවක්. අපි හරි හැටි
සංවිධානාත්මක නැහැ කියන එකයි ඒකෙන් පේන්නෙ.
අපේ රොහාන් ප්‍රනාන්දු මිත්‍රයා බොහොම සැර කතාවක් කළා. ඒ කතාව සෑහෙන දුරට මමත් අනුමත
කරනවා. මොකද මමත් මේ ක්‍රීඩාවෙ පාසැල් අවධියේ සිටම ඉන්න කෙනෙක්. ඒ වගේම පාසැල් අවධියේ
ක්‍රීඩාවෙන් ජයග්‍රහණ ලබල ක්‍රීඩාව නිසාම හමුදාවට බැඳිල ඒ තුළින් ඉදිරියටම ඇවිල්ල මෙරට ක්‍රීඩාවේ
උසස්ම තනතුරු දරපු කෙනෙක් හැටියට මටත් පේනවා ක්‍රීඩාවෙ ඉතාම කණගාටුදායක තත්වයක් උදා වෙලා
තියෙනවා.
ඒක නම් ක්‍රීඩාවෙ පමණක් නොවෙයි රටේ සමාජයේ සෑම අංශයකම එසේය කියලත් මට කියන්න
සිදුවෙනවා. ඒවා අපි හදාගන්න ඕන. විශේෂයෙන්ම මෙතැන අද තරුණ තරුණියන් ගොඩක් ඉන්නවා.
අවුරුදු 30ක් පමණ යුද්ධ කරපු කෙනෙක් හැටියටයි අද මේ කතා කරන්නෙ.
එදා එම යුද්ධය ඇති කරපු අය තවමත් නවත්වා ගන්න අපිට බැරි වුණා. යුද්ධය අවසන් වුණාම
මාධ්‍යවේදියෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, ඔබට දැන් සන්තෝෂ ඇති නේද කියලා. මම කිව්වා ඔව් ඉතාම
සන්තොෂයි ඒ වගේම දුකකුත් තියනවා කියලා. එක පාරටම පුදුම වුණා එම මාධ්‍යවේදියා. මෑතකත් එම
ප්‍රශ්නය මගෙන් ඇහැව්වාම මම ඒ විදියටම උත්තර දුන්නා.
මා ඔවුන්ට කීවෙ සන්තෝෂ වීම ගැන කියන්න දෙයක් නැහැ. රටක යුද්දයක් නැවතුනාම අපි සිය‍ලු දෙනාම
සන්තෝෂ වෙනවා. යුද්ධයේදී විනාශ වුණේ හමුදාවෙ හෝ අනෙක් පැත්තෙ හෝ වේවා යුද්ධයට යොමු
වුණු කට්ටිය. බලෙන් යොමු කරපු කට්ටිය. නමුත් යුද්ධය ඇති කරපු කට්ටිය තවම ජීවත් වෙනවා. අන්න ඒ
ටික නැතිකර ගන්න බැරිවුන එක තමයි මට තිබෙන දුක කියන එකයි මම ප්‍රකාශ කළේ.
ඒක තමයි යතාර්ථය. යුද්ධය ඇති කරපු කට්ටිය තවම සමාජයේ ඉන්නවා.
ක්‍රීඩාවෙ පමණක් නොවෙයි අද හැම තැනම දූෂණය වංචාව කියන දේ තියනවා. එය පෙනි පෙනී සිදුවෙනවා.
එය නොපෙනෙන තැනත් නැති තත්වයට පත්වෙලා. උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා
මේක ව්‍යාප්ත වෙලා.
ඒ නිසා රොහාන් ප්‍රනාන්දු මහතා කීව වගේ අපි මේක සියලු දෙනාම සංවිධානය වෙලා නැතිකර ගත්තෙ
නැත්නම් නැතිවෙන්නෙ නැහැ. එය තමා අපේ ක්‍රීඩාවේ පැවැත්මටත් බලපාන ප්‍රධානම දේ.
අද මතුවෙලා ඉන්න ජයග්‍රහණ ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් වටකරලා ප්‍රහාර එල්ල වෙනවා අපි දකිනවා.
ජයග්‍රහණ ලබන්න ඉන්න අයටත් එහෙමයි. මෙවැනි දේවල් නැතිකරන්න පුළුවන් වන්නේ හරි
සංස්කෘතියක් තුළ හොඳ පුරුදු ඇති කිරීමෙන් පමණයි. එපමණක් නොවෙයි අපේ නාමල් ඇමැති තුමා කීවා
වගේ ඒ පුරුදු ක්‍රියාකාරී මට්ටමට ගෙනැල්ලා සාහිත්‍යයක් බවට පත්වෙන්න ඕන.
ඒවා දුර දිග යන විට තමයි සංස්කෘතියක් බවට පත්වෙන්නෙ. එවැනි සංස්කෘතියක් ඇති කිරීම අපි සියලු
දෙනාගේම වගකීමක් හැටියටයි මා දකින්නෙ.
ඒ වගේම මෙවැනි දේවලට අත හිත දෙන්නට විශේෂයෙන්ම අපේ මාධ්‍යවේදීන් සාහිත්‍ය‍වේදීන් කටයුතු
කරනවා කියල අපිට විශ්වාසයි. අද මා දැක්කා ක්‍රීඩා සාහිත්‍ය පිළිබඳව විශ්ව විද්‍යාල පර්යේෂන කරන පිරිස්
වලට සම්මාන ලැබුණා. එය ඉතාම හොඳයි. ඒ අතර සබරගමුව විශ්ව විද්‍යාලයේ කිහිප දෙනෙකුට අද
සම්මාන ලැබුණා. සබරගමුව විශ්ව විද්‍යාලය මුල් අවධියේ සිටම මෙහි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළා.
අනෙකුත් විශ්ව විද්‍යාලත් ඒ සම්බන්ධව කටයුතු කරනවා.
ඒ අනුව උගත් සමාජය සම්බන්ධ වෙලා සමාජයක පෙරගමන්කරුවන් වෙන්නට ඕන ඒ අයයි.
එවන් අය පෙරගමන්කරුවකු වී නොසිටීම තුළ තමයි සොල්දාදුවා පෙරගමන්කරුවකු කරලා යුද්ධ
කරන්නෙ. සොල්දාදුවා පෙරගමන්කරුවකු කරන සමාජයක් කවදාවත් ලෝකෙ දියුණු ‍වෙලා නැහැ.
සොල්දාදුවෝ පාලනය කරන රටවල් හමුදා පාලනය තිබෙන රටවල් ලෝකෙ කිසිම තැනක දියුණු වෙලා
නැහැ.
ඒ නිසා ඒ කට්ටියට කරන්න පුළුවන් වෙන වැඩ තියෙනවා. අද සමාජයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ වේවා අනෙකුත්
සෑම ක්ෂේත්‍රයකම වේවා විද්වතුන් පෙරගමන්කරුවන් වෙන්න ඕන. විශ්ව විද්‍යාල මේවාට නායකත්වය
ගන්න ඕන. එවැනි අය සැඟවිලා සිටින තෙක් නව සාහිත්‍යයක් ඇතිවෙන්නෙත් නැහැ. නව සංස්කෘතියක්
ඇතිවෙන්නෙත් නැහැ. මේ යන ක්‍රියා දාමය තව තවත් වැඩි දියු‍ණු වෙනවා මිසක් ඒවා නැතිවෙන්නෙත්
නැහැ.
විද්වතුන් පෙරගමන්කරුවන් විය යුතුයි කියන සංකල්පය සඳහා අද මෙම සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන
උළෙලෙන් හොඳ ප්‍රමුඛත්වයක් ආදර්ශයක් ලැබුණා. ඒ අදහස අනුව එවැනි විද්වතුන්ට සම්මාන දීම ඉතාම
හොඳයි. මෙවැනි සම්මාන උළෙල සංවිධානය කරල මේවා සමාජගත කිරීම තුළ සමාජයේ කතිකාවක්
ඇතිකිරීම මඟින් රටේ සිදුවන අකටයුතුකම් නවත්වා ගන්නට අවකාශය ලැබෙනවා.
ඒ සඳහා පෙරගමන්කරුවන් හැටියට “සබුද්ධි“ සංවිධානය විසින් මෙවැනි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලක්
සංවිධානය කිරීම ඉතාමත් අගය කොට සළකනවා. ඒ වගේම මෙවැනි වැඩසටහන් අනුසාරයෙන් අප රටේ
ක්‍රීඩා සංස්කෘතියක් ඇති වී හෙට දවසේ යහපත් සමාජයක් සහිත රටක් ගොඩ නැඟේවායි ප්‍රාර්ථනා
කරනවා.“