පසුගිය වසරේ ඩුබායි හිදී පැවති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී තම පරම දේශපාලන සතුරා ඉදිරියේ ලද කඩුලු 10 ක නින්දිත පරාජයෙන් වසරකටත් අඩු කාලයකට පසු ඉන්දීය කණ්ඩායමට නැවත වරක් එම ප්‍රතිවාදියාම වන පකිස්ථානය සමඟ තරඟ කිරීමට සිදුව ඇත. එනම් 2022 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන මෙම වසරේ ඔක්තෝම්බර් 23 වන දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙකී අසල්වැසියන් යළිත් ගැටෙනු ඇත.
මෙම පරම ප්‍රතිවාදීන් අතර ක්‍රිකට් ගැටුම සඳහා වෙන් කර ඇති ප්‍රවේශ පත්‍ර සාමාන්‍ය ජනතාවට මිලදී ගැනීම සඳහා සඳුදා (පෙබරවාරි 7) ඔන්ලයින් හරහා අවස්ථාව ලබා දුන්නද විනාඩි 5 ක් ඇතුළත ප්‍රවේශ පත්‍ර විකිණී අවසන් විය. එය පුදුමයක් නොවන්නේ ඒ තරමටම මෙම ප්‍රතිවාදීන්ගේ සටන දෙරටේම ජනයාගේ වෛරය පිරිමසා ගන්නා ආකාරයේ එකක් වීමය. තවද සිඩ්නි ක්‍රිකට් පිටියේ (SCG) හි පැවැත්වෙන ඉන්දීය කණ්ඩායමේ දෙවන තරඟය සඳහා වූ ප්‍රවේශ පත්‍රද එදිනම විකිණී අවසන් වූයේ එම තරඟය සඳහා ඔවුන්ගේ ප්‍රතිවාදීන් කවුදැයි ඉන්දීය කණ්ඩායම තවමත් නොදන්නා පසුබිමක් තුළය.
මෙම වසරේ ඔක්තෝබර් 16 සහ නොවැම්බර් 13 අතර ඕස්ට්‍රේලියානු ස්ථාන හතකදී පැවැත්වෙන 2022 විස්සයි-20 ලෝක කුසලානය සඳහා ප්‍රවේශපත්‍ර, පෙර විකුණුම් කාලය තුළ ප්‍රවේශපත් 200,000 ක් ලබා ගැනීමට අවස්ථාව දීමෙන් පසුව මහජනතාවට අලෙවිය සඳහා දැන් විවෘතව ඇත.
ඉන්දියාව සහ පාකිස්ථානය යන දෙපිල අවසන් වරට ඕස්ට්‍රේලියානු භූමියේදී මුණගැසුණේ 2015 එක්දින ලෝක කුසලානයේදී ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී වන අතර එම තරගයේ ප්‍රවේශ පත්‍රද මිනිත්තු කිහිපයකින් අලෙවි විය.
එසේම දකුණු අප්‍රිකාව, බංගලාදේශයට මුහුණ දෙන ඔක්තෝබර් 27 වන දින සිඩ්නි හිදී පැවැත්වෙන තරගය සඳහා ප්‍රවේශපත්‍ර ද සඳුදා (7දා) විකිණීමට විවෘත වී ටික වේලාවකට පසු අවසන් විය.
කෙසේ වෙතත් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ඔක්තෝබර් 16දා නැමිබියාව සමඟ පළමු සුදුසුකම් ලැබීමේ වටයේ තරගයට සහභාගී විය යුතුය.