“නෙළුම් පොකුණ” රඟහලට මහින්ද රාජපක්ෂ නම ගහගත්තට ඒක අපේ වැඩක් – විජිත හේරත් කියයි

මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිකළ බව කියමින් “නෙළුම් පොකුණ” රඟහලට ඔහුගේ නම ලේබල් ගසා තිබුණත් එය ඔහුගේ සංකල්පයක් නොවන බවත් එම ව්‍යාපෘතිය ආරම්භ කළේ තමා සංස්කෘතික අමාත්‍ය ධුරය දැරූ සමයේ බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි.
ජාතික ජනබලවේගයේ ගාල්ල පැවැති සමුළුව අමතමින් මේ බව අනාවරණය කළ විජිත හේරත් එහිදී වැඩිදුරටත් පවසා සිටියේ එය 2004 වසරේ තමන් සංස්කෘතික අමාත්‍ය ධුරය දරන කාලයේ චීනය සමඟ සාකච්ඡා කර ආරම්භ කොට එකඟතාවකට පත් වූ ව්‍යාපෘතියක් බවයි.
එදා කොළඹ “නොමෑන්ඩ්ස්” ක්‍රීඩා පිටිය පැවැති ස්ථානය සංස්කෘතික අමාත්‍යාංශය යටතට පවරාගෙන ආරම්භ කළ මෙම “නෙළුම් පොකුණ” සංකල්පය අප්‍රසිද්ධ පුද්ගලයකුගේ බවත් ඔහු පොළොන්නරුව සංස්කෘතික අරමුදලේ වැඩ පරීක්ෂකවරයෙක් බවත් විජිත හේරත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.
එම ව්‍යාපෘතියට අදාළව අත්සන් කළ ගිවිසුමට අනුව ඊට ණය ආධාර දෙන්නට චීනය පොරොන්දු වුවද චීනය විසින් ගෙන ආවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වැනි සැලැස්මක් බැවින් තමා සහ තම අමාත්‍යාංශය ඊට විරුද්ධ වී එකී වැඩ පරීක්ෂකවරයාගේ සැළැස්ම ක්‍රියාත්මක කළ බවද පැවැසීය. තවද එවකට සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද චීනය විසින් ගෙන ආ සැලැස්මේ මොඩලයට විරුද්ධ වූ බවත් අනතුරුව චීනය විසින් දෙරටේම ගෘහ නිර්මාණ ශිල්පයට අනුව “නෙළුම් පොකුණ” සැලැස්ම ඉදි කිරීමට එකඟ වූ බවත් හේරත් මන්ත්‍රීවරයා කීය.
ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිමල් සිල්වා ඇතුළු කණ්ඩායම සාකච්ඡා සඳහා සති දෙකකට චීනයට යැව්වේ තමා බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
නමුත් එවකට ආණ්ඩුව ගෙන ආ සුනාමි සහන මණ්ඩල ගිවිසුම් යෝජනාවලියට එරෙහිවූ ජනතා විමුක්ති පෙරමුණ 2004 වසරේදී ආණ්ඩුවෙන් ඉවත් වූ පසුර 2005 සැප්තැම්බර් මස චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය “නෙළුම් පොකුණට” මුල්ගල තැබූ බවත් එම වසරේම නොවැම්බර් වන විට මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණ එය මහින්ද රාජපක්ෂ නමින් ලේබල් කරගත් බවත් හේරත් මහතා පෙන්වා දුන්නේය.