ඇවන්ගාඩ් පිළිබඳව පරීක්ෂණ සිදු කළේ අප නොවේ නීතිපති දෙපාර්තමේන්තුවයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා මෙම අදහස් පළකළේ දියසරු උයනේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ගාලූ වරායේ නවතා තිබූ ඇවන්ගාඩ් පාවෙන නැව පිළිබඳව පරීක්ෂණ සිදු කළේ මම හෝ වෙන කවුරුවත් නෙමෙයි නීතිපති දෙපාර්තමේන්තුව. ඔය කියන සුහද ගම්ලත්ගේ දෙවෙනියා වන වසන්ත නවරත්න බණ්ඩාර තමයි ඒ පිළිබඳව නිර්දේශ නිකුත් කළේ. ඔහු ප‍්‍රකාශ කළා මේ නැවේ අවි ආයුධ රඳවා ගැනීම නිසා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත හා ගිණිඅවි ආඥා පණත යටතේ අපරාධ වරදක් සිදුකර තිබෙන බව. ඒ කියන්නේ ශ‍්‍රී ලංකා රජයට දැනුම් නොදී අවි ආයුධ ආනයන අපනයන කි‍්‍රයාවලියක නියැලීම සම්බන්ධයෙන්. දෙවනුව ඔහු චෝදනා කරන්නේ ඒ සම්බන්ධයෙන් දැනුවත්ව එම අපරාධ කි‍්‍රයාවලියට අවි ආයුධ ලඟ තබාගැනීම, අවි ආයුධ ආනයන අපනයන කිරීමට නිසි බලපත‍්‍රයක් නැතිව ගිනි අවි ආඥා පණත හා පිපිරුම් ආඥා පණත යටතේ අපරාධ වරදක් සිදුකර තිබෙන බව. ඊළඟට මේවා සම්බන්ධයෙන් දැනුවත්ව සහය දුන්නයි කියන එක පිළිබඳව පස් දෙනෙකුට චෝදනා කලා ඔවුන්ව වහාම අත්අඩංගුවට අරගෙන කි‍්‍රයා කරන්න. ඒ එක්කෙනෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. අනෙක් කෙනා තමයි ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්තුමිය. අනෙක් කෙනා තමයි ඇවන්ගාඞ් ආයතනයේ ප‍්‍රධානියා හා ප‍්‍රධාන විධායක නිලධාරියා. මෙන්න මේ අය සහ රක්නා ලංකා එකේ ප‍්‍රධානියා. මේ පස් දෙනා වහාම අත්අඩංගුවට අරගෙන මැජෙස්ටේ‍්‍රට්ට ඉදිරිපත් කරන්න කියලා යෝජනා කළේ දේශපාලකයෝ නෙමෙයි සුහද ගම්ලත් මහත්මයා මූලිකත්වය දරපු ඒ සොලිස්ටර් ජෙනරල් වසන්ත නවරත්න බණ්ඩාර තමයි ඒක යෝජනා කළේ. එය කි‍්‍රයාත්මක නොකලේ කවුද කියන එක තමයි අද මේ රටේ ජනතාවට තිබෙන ප‍්‍රශ්නය. පතුරමක් අතේ තිබුණත්, වෙඩි බෙහෙත් දශමයක් අතේ තිබුණත් හිරේ විලංගුවේ යන රටේ මේ ආයුධ 5,000 ක් සමග නටපු නැටිල්ල තමයි අපට තිබෙන ප‍්‍රශ්නය.

ඒ වගේම අපි මැදිහත් වෙලා මේ නීතිවිරෝධී ගණු දෙනුව අවසන් කරලා නාවුක හමුදාවට මේක භාර දුන්නට පසුව 2015 ඔක්තොම්බර් මාසේ සිට මේ දක්වා මිලියන 8,000 ක් මේ රටට ඉතිරි වෙලා තිබෙනවා. මේක ගියේ පුද්ගලයින්ගේ සාක්කුවලට. කොහොමද ඒ පුද්ගලයින්ගේ සාක්කුවලට ගිය විදිහ ඉදිරියේදී හෙළිකරනවා. අද මේ රටේ හැම පුරවැසියෙකුටම රුපියල් 400 ක ධනයක් අපේ මේ කි‍්‍රයාවලියෙන් ලැබිලා තිබෙනවා. මේක වංචාවක්ද නැද්ද කියන එක තීරණය කරන්න මේ රටේ අධිකරණය සතු දෙයක්. ඒ නිසා අපට කණගාටුයි කියන්න හැම වෙලාවෙම දේශපාලකයින්ට කෑ ගැසුවට අපරාධ කාරයෝ රැක්කේ කවුද කියන එක පිළිබඳව විශේෂ පරීක්ෂණයක් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ ගනයේ නිලධාරීන් සම්බන්ධයෙන් ඇති කළ යුතුයි. මේ ජනාධිපතිවරණය අප ජයගත්තට පස්සේ ඒ සම්බන්ධයෙන් අපි කි‍්‍රයා කරනවා.

ආයුධ 5,000 ක් ළඟ තබාගත් කෙනෙකුට නීතිය කි‍්‍රයාත්මක නොකිරීම සම්බන්ධයෙන් සුහද ගම්ලත් මහතා පිළිබඳ ප‍්‍රශ්නයක් රටේ තිබෙනවා. ඒ වගේම රටට ආණ්ඩුවට ලැබිය යුතු ආදායම පුද්ගලික සමාගමකට ලබාදීමට කටයුතු කිරීම ගැන, රජයට අහිමි වූ අරමුදල් සම්බන්ධයෙන් කි‍්‍රයා නොකිරීම ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීනුත් ඔවුන් සමග ගණුදෙනු කළ ඇතැම් දේශපාලකයනුත් වගකිව යුතුයි. ඒ පිළිබඳව අපි ඉදිරියේදී හෙළිදරව් කරනවා යැයි පැවසීය.