විදුලිය කපන මණ්ඩලයේ වියදම් කපන හැටි ඉංජිනේරු කුමාර රටටම කියා දෙයි

වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය සැ‍‍‍ළකිල්ලට ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ප්‍රධාන ඉංජිනේරු වරයෙකු ලෙස සේවය කරන ජේ.එම්.එස්.කුමාර මහතා ලංවිම ලබා දී ඇති නිල රථය ආපසු බාරදී තමාට හිමි පුද්ගලික කාර් රථය යොදාගෙන තම රාජකාරි කිරිමට තීරණය කර ඇති පුවතක් බදුල්ලෙන් වාර්තා වේ.
බදුල්ල ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයට අනුයුක්තව ප්‍රධාන ඉංජිනේරු තනතුරෙහි සේවය කරන කුමාර මහතා, 2022 මැයි 18දා තමින් එම කාර්යාලයට මේ බව ලිඛිතව (ලිපිය පහත අමුණා ඇත) දැනුම් දී ඇති අතර ඔහු එම ලිපිය මඟින් පවසා ඇත්තේ අදාළ ටෙන්ඩර් අංකයක් යටතේ වසර දෙකක කාලයක් සඳහා තමාට ලබා දී ඇති නිල කාර් රථය මාස 6ක කාලයක් සඳහා නැවත පවරා ගන්නා ලෙසයි.
කෙසේ වෙතත් මාස 6ක කාලයකින් පසුව නැවත එම නිල රථය තමා වෙත ලබා දීමට කටයුතු කරන ලෙස එම ලිපිය මඟින්ම ඉල්ලිමක් කර ඇති කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ තමාගේ මෙම කැපකිරිම හේතුවෙන් ආසන්න වශයෙන් රුපියල් මිලියනයකට වැඩි මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට ඉතිරි කර ගැනීමට හැකිවන බවයි.
තවද ලංවිම වෙත ඉටුවිය යුතු සියලුම රාජකාරි කටයුතු නොපිරිහෙලා ඉටුකිරීමට ඉදිරියේදීත් බලාපොරොත්තු වන බවත් මෙසේ කටයුතු කිරීම මඟින් රටට ආදර්ශයක් ලබාදීමට හැකිවන බවත් ප්‍රධාන ඉංජිනේරු කුමාර මහතා යැවූ එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.