බංග්ලාදේශ ඔද තෙද බිඳියි – ශ්‍රී ලංකාවට තරගාවලි ජය

සිය දකුණත් මද වේග පන්දුවෙන් ප්‍රතිවාදීන්ගේ ඔද තෙද බිඳ දැමූ අසිත ප්‍රනාන්දු බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10 ක ජයග්‍රහණයක් කරා  ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ගියේය.එම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි හතර වන ස්ථානය කරා ඉහළ නැඟීමටද ශ්‍රී ලංකාවට හැකි විය.

ශ්‍රී ලංකාවට වඩා ලකුණු 141ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 169කට සීමා කිරීමට අසිත ප්‍රනාන්දු ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.ඒ අනුව ශ්‍රී ලංකාවට උරම වූ ලකුණු 27ක ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී පසු කරලීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය සමත්වූ අතර මෙම තරගාවලි පරාජය සත්කාරක බංගලාදේශ කණ්ඩායම සිය රට තුළ දී එක දිගට ලත් තුන් වැනි ටෙස්ට් තරගාවලි පරාජය ලෙස සටහන් විය.බංග්ලාදේශ දෙවෙනි ඉනිම සුනු විසුණු කරනු ලැබූ අසිත ප්‍රනාන්දු ලකුණු 51කට කඩුලු 6ක් දවා ගත් අතර කසුන් රාජිත කඩුලු දෙකක් සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් දවා ගත්තේය.ඒ සමගම අසිත ප්‍රනාන්දු මේ තරගය තුළ ලකුණු 144කට කඩුලු 10ක් දවා ගැනීමට සමත් වූ අතර චමින්ද වාස් ගෙන් පසුව ටෙස්ට් තරගයකදී කඩුලු දහයක් දවා ගත් ප්‍රථම වේගපන්දු යවන්නා වීමට ද ඔහුට මෙම දස්කම හේතු විය.

මේ තරගය තුළ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දෙදෙනා කඩුලු 17ක් දවා ගැනීමට සමත්ව තිබූ අතර කසුන් රාජිත පළමු ඉනිමේ කඩුලු 5ක් සමග තරගය පුරා කඩුලු 7ක් දවා ගැනීමට සමත් වී තිබුණ.ලකුණු 34කට කඩුලු 4ක් ලෙස ඊයේ පන්දුවට පහරදීම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමේ 5 වන කඩුල්ල ලෙස පළමු ඉනිමේ නොදැවී ශතකයක් රැස් කළ මුෂ්ෆිකර් රහීම් ගේ කඩුල්ල දවාගැනීමට කසුන් රාජිත සමත් වූවද දිවා ආහාරය වන තෙක්ම තරගය මැනවින් පාලනය කර ගැනීමට ශකීබ් අල් හසන් සහ ලිටන් දාස් දෙදෙනා සමත් වූහ.එහෙත් දිවා විවේකයෙන් පසුව මිර්පූර්හි ඩකා ක්‍රීඩාංගණය බංග්ලාදේශ කණ්ඩායමට තවදුරටත් හොඳ එකක් නොවන බව පෙන්වමින් පැයක් ඇතුළත බංග්ලාදේශ ඉනිම නිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.ශකීබ් අල් හසන් පන්දු 72කට මුහුණ දී වේගවත් ලකුණු 58 ක් ලබා ගත් අතර ලිටන් දාස් ලකුණු 52කට දැවී ගියේය.ලිටන් දාස්ගේ කඩුල්ල ලබා ගැනීම සඳහා පන්දු යැවූ අසිත ප්‍රනාන්දු පෙරළා පැමිණි උඩපන්දුව රැකගත් ආකාරය විශිෂ්ට මට්ටමේ විය. තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමි වූ අතර පළමු තරගයේ සහ මෙම තරගයේදී ශතක වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

අසිත සිය දකුණතින් බංග්ලාදේශ ඔද තෙද බිඳියි - ශ්‍රී ලංකාවට තරගාවලි ජය