එල්.පී.එල්. සමාරම්භක තරගයේදී කොළඹට ජය

2020 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී කුසල් පෙරේරාගේ
මහනුවර ටක්සස් කණ්ඩායම සුපිරි පන්දුවාරයෙන් පරාජයට පත්කර දැමූ ඇන්ජලෝ මැතිව්ස්ගේ කොළඹ කිංග්ස් කණ්ඩායම තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට ඊයේ (26 වැනිදා) සමත් විය. තරගය අවසානයේදී දෙපිළේම ලකුණු සමවීම මත ජයග්‍රාහී කණ්ඩායම තේරීම වෙනුවෙන් පැවැති සුපරි පන්දුවාරයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබා ගැනීමට සමත්වූ අතර මහනුවර කණ්ඩායමට අදාළ ඉලක්කය පසුකර යෑමට නොහැකි විය.
සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති අදාළ තරගයේදී කාසියේ වාසිය දිනූ මහනුවර ටක්සස් නායක කුසල් පෙරේරා සමාරම්භක තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඉනිම ආරම්භ කළ මහනුවර කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 3ක් දැවී ලකුණු 219ක් රැස් කිරීමට සමත් විය. එය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගයකදී වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා පොතට එක් විය. මහනුවර ඉනිම ඇරැඹූ කුසල් පෙරේරා සහ රහමනුල්ලා ගුර්බාස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක් එක් කළේය. පන්දු 34කදී වාර්තා වූ පළමු කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දැමු කයිස් අහමඞ් ලකුණු 53ක් ලබා සිටි රහමනුල්ලා පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. එල්. පී. එල්. තරගාවලියේ පළමු හයේ පහර එල්ල කිරීමට සමත් වූ රහමනුල්ලා දැවී යනවිටදී පන්දු 22කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් එල්ල කිරීමට සමත් වී සිටියේය.
රහමනුල්ලාගේ දැවී යෑමෙන් අනතුරුව කුසල් පෙරේරා සමග එක් වූ කුසල් මෙන්ඩිස් මහනුවර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක් එක් කළේය. කුසල් මෙන්ඩිස් පන්දු 20කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 30ක් රැස් කළේය. මහනුවර ඉනිම 200 සීමාවට
රැගෙන ගිය නායක කුසල් පෙරේරා පන්දු 52කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් සමගින් ලකුණු 87ක් ලබා සිටියදී දුෂ්මන්ත චමීරගේ
පන්දුවක් හමුවේ අශාන් ප්‍රියන්ජන අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියේය. අසේල ගුණරත්න පන්දු 20කදී නොදැවී ලකුණු 33ක් ලබා ගැනීමට සමත් විය.
ලකුණු 220ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 219ක් පමණි. කොළඹ කණ්ඩායමේ ඉනිම ආරම්භ කළ දිනේෂ් චන්දිමාල් සහ ලවුරිස් ඉවෙන් පළමු කඩුල්ලට ලකුණු 64ක් එක් කළේය. පන්දු 14කදී ලකණු 22ක් ලබා සිටි ලවුරිස් දවා ගැනීමට අසේල ගුණරත්න සමත් වීමෙන් අනතුරුව පිටියට පිවිසි තික්ෂිලද සිල්වා චන්දිමාල් සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 67ක් එක් කළේය. දිනේෂ් චන්දිමාල් පන්දු 46කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් සමගින් ලකුණු 80ක් වාර්තා කළේය. ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දුවාරයේදී ලකුණු 20ක් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දුන් ඉසුරු උදාන දැවන්ත හයේ පහර දෙකක් එල්ල කරමින් තරගයේ ලකුණු සම කිරීමට සමත් විය. උදාන පන්දු 12කදී හයේ පහර 4ක් සමගින් ලකුණු 34ක් නොදැවී වාර්තා කළේය.
එල්.පී.එල්. තරගාවලියේ සමාරම්භක උත්සවය ඊයේ පස්වරු 3.30ට ආරම්භ කිරීමට නියමිතව තිබුණද එය පස්වරු 6.30 දක්වා කල් දැමීමට සංවිධායකයෝ තීරණය කර තිබිණි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණු තරගාවලියේ සමාරම්භක උළෙල ඉතා චාම් ස්වභාවයක් ඉසිලීය. කෙසේ වෙතත් කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් ප්‍රේක්ෂක
සහභාගිත්වයකින් තොරව තරගාවලිය පැවැත්වීමට සංවිධායකයෝ තීරණය කර තිබීම මත මෙම තරගාවලිය ප්‍රේක්ෂ සහභාගීත්වයකින් තොරව පැවැත්වේ.