අයි.ඕ.සී ඉන්ධන මිල වාර්තා ගත ලෙස ඉහළ දමයි

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී) තීරණය කර තිබේ.
මෙසේ නැවතත් ඉන්ධන මිල ඉහළ දැමීමට අනුව සියලුම ඩීසල් වර්ගවල මිල රුපියල් 75 කින් වැඩිකර ඇති අතර පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 50 කින් ඉහළ දමා ඇති බව එම සමාගම සඳහන් කරයි.
නවතම මිල ඉහළ දැමීමත් සමඟ වැඩි වශයෙන් භාවිත කරන ඔක්ටේන් 92 ලීටරයක මිල සියයට 24.5 කින් ඉහළ ගොස් රුපියල් 254 ක් වාර්තාගත මිලක් වන අතර ඩීසල් ලීටරයක මිල සියයට 54 කින් ඉහළ ගොස් රුපියල් 214 ක් දක්වා ඉතිහාසයේ වැඩිම මිල බවට වාර්තා ගත වනු ඇත.
රුපියලේ අගය සැළැකිය යුතු ලෙස අවප්‍රමාණය වීම ලංකා අයි.ඕ.සී. සමාගමේ පෙට්‍රල් සහ ඩීසල් විකිණුම් මිල සංශෝධනයට බලකිරීමක් කර ඇතැයිද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම කියා සිටී.
තවත් පැත්තකින් රුසියානු තෙල් හා නිෂ්පාදන සඳහා පූර්ණ ආනයන තහනමක් පැනැවීමේ අපේක්ෂාව මතද තෙල් මිල තියුනු ලෙස ඉහළ ගොස් ඇති බවත් එය 2008 වර්ෂයට පෙර දුටු ඉහළම මට්ටමට ළඟා වී ඇති බවත් අයි.ඕ.සී. ය නිකුත් කර ඇති නිවේදනයේ තවදුරටත් සඳහන්ය.