37වැනි ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේදී යුද-ගුවන් හමුදා බලය පතුරුවයි-බාලක ශූරතාව ආනන්දයට බාලිකා ශූරතාව කාන්තා විද්‍යාලයට

කොස්වත්ත දියවන්නාවේදී ඊයේ නිමාවට පත්වූ 37 වැනි කනිෂ්ඨ සහ අතරමැදි ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේ අතරමැදි අංශයේ පිරිමි සම ශූරතාව ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ගුවන් හමුදාවට හිමි වුණා. එම අංශයේ කාන්තා ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාව දිනා ගත්තා.
එසේම දින තුනක් පුරා පැවැති මෙවර තරගාවලියේ පිරිමි ඉසව් අතරින් ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ සහ කොළඹ ඔරු පැදීමේ සමාජයේ ඔරු පැදීමේ ක්‍රීඩකයින් පළමු තිදෙනා අතරට පැමිණීමට සමත් විය.
තවද කනිෂ්ඨ අංශයේ බාලක ශූරතාව ආනන්ද විද්‍යාලයට හිමි වූ අතර බාලිකා ශූරතාව කොළඹ කාන්තා විද්‍යාලයට හිමිවිය.
ආනන්ද විද්‍යාලයට අමතරව, ආසියානු ජාත්‍යන්තර පාසල (AIS),රාජකීය විද්‍යාලය සහ ගේට්වේ විද්‍යාලය යන පාසල්වල පිරිමි කණ්ඩායම් තරග වැදී සිටියහ.
කොළඹ කාන්තා විදුහල අවුරුදු 14න් පහළ බාලිකා ශූරතාව දිනාගත් අතර බාලක ශූරතාව රාජකීය විදුහලට හිමිවිය.
අවුරුදු 16න් පහළ බාලිකා ශූරතාව ආසියානු ජාත්‍යන්තර පාසල විසින් දිනාගත් අතර බාලක ශූරතාව ශාන්ත ජෝශප් විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.
කාන්තා විද්‍යාලය, මෙතෝදිස්ත විද්‍යාලය, බිෂොප් විද්‍යාලය සහ ආසියානු ජාත්‍යන්තර පාසල (AIS) යන පාසල්වල ඔරු පැදීමේ ක්‍රීඩිකාවන් බාලිකා ඉසව් අතර ප්‍රමුඛ දක්ෂතා දැක්වීය. ශූරතාවලියේ දක්ෂතම පාසල් ක්‍රීඩකයා ලෙස බොල්ගොඩ ඔරු පැදීමේ සංගමය නියෝජනය කළ කෙරත්න ඈපා සිංහ සම්මාන දිනාගත් අතර දක්ෂතම පාසල් ක්‍රීඩිකාව ලෙස කොළඹ ඔරු පැදීමේ සංගමයේ අනිත්‍යා ප්‍රනාන්දු සම්මාන දිනා ගත්තාය.
දින තුනක් පුරා දියවන්නා ඔයේදී පැවැති මෙම තරගාවලියට අවසන් තරග ඉසව් 31ක් ඇතුළු ඔරු පැදීමේ තරග 123ක් ඇතුළත් කර තිබුණි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූ මෙවර ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේදීද ප්‍රධාන හා එකම අනුග්‍රාහකයා වූයේ පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ මෙම ක්‍රීඩාවේ වර්ධනයට අනුග්‍රහය සහ දිරිගැන්වීම ලබා දුන් එස්එල්ටී-මොබිටෙල් (SLT- Mobitel) ආයනයයි.
සමාප්ථ උළෙලේ සම්මාන පිරිනැමීම ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඉන්දීය ඔරු පැදීමේ සම්මේලනයේ බාලාජි මද්දප, ශ්‍රී ලංකා ඔලිම්පික් රිදී පදක්කම් ලාභීණි සුසන්තිකා ජයසිංහ, ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමයේ සභාපති දිමුත් ගුණවර්ධන, උප සභාපති සිතිර වික්‍රමසේකර යන මහත්ම මහත්මීන්ද සම්මාන ප්‍රධානෝත්සවය සඳහා සහභාගී වූහ.