අගමැතිගේ බැංකු කාඩ්පත ඉස්සූ ලොකුබණ්ඩාර යළි මුදල් දෙන්න එකග වෙයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමෙන් රුපියල් කෝටි ගණනක් හොරකම් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර අදාළ මුදල් සොරකම් කිරීම පිළිගෙන එම මුදල් නැවත ලබාදීමට එකගවී තිබේ. ඒ අනූව ඔහු වෙනුවෙන් කරන මූල්‍ය වංචා පරීක්ෂණ නතර වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරණ කාලයේ සිට මෙම ගිණුමට වැටුප් බැරවී ඇති අතර මහින්ද මහතා විසින් ගිණුම පරීක්ෂා කිරීමේදී කෝටි තුනහමාරක පමණ මුදලක් කාලයක් තිස්සේ කිසිවෙකු විසින් වරින් වර රැගෙන ගොස් ඇති බව හෙළිවීමෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණි.
හිටපු කතානාය විජමු ලොකු බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන උදිත් ලොකු බණ්ඩාර මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන යුගයේ සිට මෙම රාජ්‍ය බැංකුවෙන් ලබාදුන් ඒටීඑම් කාඩ්පත පෞද්ගලිකව පරිහරණය කර තිබේ.
කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්ෂණවලදී ලොකු බණ්ඩාර වරද පිළිගෙන ඇති අතර එම මුදල් ඔහු වෙනත් ගිණුමක දමා ඇතැයි පවසා තිබේ. ඒ අනූව අදාළ මුදල් නැවත ලබාදීමට එකගවී ඇත.