දඹුල්ලට සහ කොළඹට ජය

ගෝල් ග්ලැඩියේටර්ස් පිල සමඟ ඊයේ රාත්‍රී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති එල්පීඑල් තරගාවලියේ දෙවැනි දිනයේ දෙවැනි තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් පිල සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ ඉනිම ඕවර 20 නිමා වන විට ලකුණු 116කට සීමා කිරීමට කලම්බු ස්ටාර්ස් පිලේ පන්දු යවන්නන් සමත් වූයේ කඩුලු 8ක් ද උදුරා ගනිමිනි. ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර සහ අකිල ධනංජය කඩුලු 2 බැගින් දවාලූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ස්ටාර්ස් පිල ඕවර 17.3කදී කඩුලු 6ක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය. ධනංජය ද සිල්වා ලකුණු 24ක් රැස් කළ අතර, දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 26ක් ලබා ගැනීමට සමත් විය. ඩේවිඩ් වේස් අවසන් මොහොතේ පිටියට පැමිණ වේගවත් ලකුණු 22ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී නුවන් තුෂාර සහ පුලින තරංග කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

මේ අතර ඊයේ පස්වරුවේ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ලකුණු 20ක ජයක් අත්කර ගැනීමට දඹුල්ල ජයන්ට්ස් පිල සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 190ක් රැස් කළ අතර, කැන්ඩි වොරියර්ස් පිලට ඕවර 20 නිමා වන විට රැස් කිරීමට හැකි වූයේ කඩුලු 8කට ලකුණු 170ක් පමණි.

දඹුල්ල ජයන්ට්ස් පිලේ ආරම්භක පිතිකරු පිල් සෝල්ට් පන්දු 27කින් ලකුණු 64ක් රැස් කිරීමට සමත් විය. හතරේ පහර 4කින් සහ හයේ පහර 5කින් ඉනිම වර්ණවත් කළ අතර, නිරෝෂන් දික්වැල්ල සමඟ ඉනිම ආරම්භ කරමින් පළමු කඩුල්ලට ලකුණු 97ක සම්බන්ධතාවක් ගොඩ නැගුවේ ඕවර 7.4කදීය.

පන්දු 23කට මුහුණ දුන් දික්වැල්ල හතරේ පහර 6ක් සමඟ ලකුණු 37ක් රැස් කළේය. පන්දු යැවීමේදී ළහිරු කුමාර කඩුලු 3ක් දවාලූ අතර, අල් අමීන් හොසේන් කඩුලු 2ක් බිඳ දැමුවේය.

කැන්ඩි වොරියර්ස් පිලේ පිතිකරුවන් දැඩි පීඩනයට ඇද දැමූ නුවන් ප්‍රදීප් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 3 බැගින් බිඳ දැමූහ.