‘ද හන්ඩ්‍රඩ්’ ශූරතාව මහේලගේ සදර්න් බ්‍රේව් කණ්ඩායමට

ලොව පළමු වරට සංවිධාන කරන ලද ‘ද හන්ඩ්‍රඩ්’ හෙවත් පන්දු 100 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන සදර්න් බ්‍රේව් කණ්ඩායම සමත්විය. ඒ  බර්මින්හැම් ෆීනික්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 32ක ජයක් ලබමිනි.  අවසන් මහා තරගය එංගලන්තයේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.

සදර්න් බ්‍රේව් කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 169ක දැවැන්ත ඉලක්කය හඹායාමට පිටියට පිවිසි බර්මින්හැම් ෆීනික්ස් කණ්ඩායමට නියමිත පන්දු 100 අවසානයේ කඩුලු 05ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 136ක් පමණි.

ලියම් ලිවින්ග්ස්ටෝන් පන්දු 19කින් ලකුණු 46ක් සහ නායක මොයීන් අලී ලකුණු 36ක් රැස් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි.

සදර්න් බ්‍රේව් වෙනුවෙන් පන්දු යැවීමේදී ක්‍රේග් ඔවර්ටන් (1/26), ජෝර්ජ් ගාට්න් (1/27), ටයිමල් මිල්ස් (1/13)සහ ජේක් ලින්ටට් (1/30) අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

අවසන් තරගයේ කාසියේ වාසියේ දිනූ බර්මින්හැම් ෆීනික්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරාගත් අතර සදර්න් බ්‍රේව් කණ්ඩායම නියමිත පන්දු 100 තුළදී කඩුලු 05ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තේය.

පෝල් ස්ටර්ලින්ග් පන්දු 36කින් වේගවත් ලකුණු 61ක් ලබා ගත්තේ හයේ පහර 06ක් සහ හතරේ පහර 02ක් සමගිනි. ඔහුගේ මෙම වේගවත් පිතිහරඹය හේතුවෙන් අවසන් තරගයේ වීරයා සම්මානය ඔහුට හිමිවිය. මීට අමතරව රොස් වයිට්ලි හයේ පහර 04ක් සහ හතරේ පහර 04ක් සමගින් පන්දු 19කදී නොදැවී ලකුණු 44ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ඇඩම් මිල්නේ පන්දු 20ක් තුළ ලකුණු 08කට කඩුලු 02ක් දවාගැනීමට සමත්විය. ඉම්රාන් තාහීර් (1/33), බෙනී හොවල් (1/34) සහ ලියම් ලිවින්ග්ස්ටෝන් (1/18) අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

මේ අතර, ‘ද හන්ඩ්‍රඩ්’ කාන්තා තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ අවසන් තරගයේදී සදර්න් බ්‍රේව් කණ්ඩායම ලකුණු 48කින් පරාජය කළ ඕවල් ඉන්විසිබල් කණ්ඩායමයි.