පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉල්ලා කළු කොඩි ඔසවයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුව මාස 28ක් සම්පූර්ණ වූ අද (21දා) දිනයේදී කතෝලික සභාව විසින් කළු කොඩි ඔසවා විරෝධතා දිනයක් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට ඉදිරිපත් කර සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා මෙලෙස විරෝධතා ක්‍රියාත්මක කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා මීට පෙර කිතුණු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණි. මෙම විරෝධතාවට එක්වෙමින් රටපුරා දේවස්ථානවල අද දිනයේදී කළු කොඩි ඔසවා තිබූ අතර උදෑසන 8.45ට සියලු දේවස්ථානවල සීනු නාදකර උදෑසන 9.45 දක්වා යාඥා මෙහෙයක් ද පැවැත්විණි.

එමෙන්ම නිවෙස්, වෙළඳ ව්‍යාපාරික ස්ථාන හා වාහනවල කළු කොඩි ප්‍රදර්ශනය කරමින් ජනතාවද මෙම විරෝධතාවට එක්ව සිටියහ. ප්‍රහාරයෙන් මියගිය අය හා රට වෙනුවෙන් අද රාත්‍රී 7.00 සිට 8.00 දක්වා නිවෙස්වල සිට යාඥා කරන ලෙසත් කතෝලික සභාව ජනතාවට දැනුම්දීමක් කරයි.