දැවිතෙල් ජාවාරම අල්ලන්න අමරවීර තොණ්ඩුවක් හදයි

රටට පැමිණෙන විදේශ නැව්වලින් බැහැර කරන දැවි තෙල් මිලදී ගැනීමේදී සිදුවන ජාවාරමක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ජනාධිපති විමර්ශන අංශය හරහා සිදු කිරීමට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.

රටට විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් අහිමි කරමින් දැවැන්ත පරිසර හානියක් සිදුකරමින් කාලාන්තරයක් තිස්සේ රටට පැමිණෙන විදේශ නැව්වලින් බැහැර කරන දැවි තෙල් මිලදී ගැනීමේදී මෙම ජාවාරම සිදු කරගෙන යන බව පරිසර අමාත්‍යංශය මගින් කරන ලද විමර්ශනයක දී හෙළිවීමත් සමග ඇමැතිවරයා මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව මෙම ජාවාරම නැවැත්වීමටත් ඒ හරහා ගනුදෙනු වන අති විශාල මුදල් සම්භාරය රටට ලබා ගැනීමත් අරමුණ බව ද ඇමැතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා නිව්යෝර්ක් සංචාරය නිම කර රටට පැමිණි පසු මෙම ජාවාරම සහ රටට අහිමි වන ඩොලර් ධනස්කන්ධය පිළිබඳව කරුණු සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද ඇමැතිවරයා තීරණය කර ඇත.

වසරකට දැවි තෙල් ටොන් 20,000 – 25000 අතර ප‍්‍රමාණයක් රටට එන නැව්වලින් බැහැර කරන බවත් එහෙත් වසරකට පිරිපහදු කළ හැක්කේ ටොන් 4800ක් බවත් ඉතිරි ටොන් 15200ට සිදුවන දේ කුමක් දැයි මෙතෙක් හෙළි වී නොමැති බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ලොව අනිකුත් රටවල වරායන්වලට එන නැව්වලින් දැවි තෙල් ඉවත් කරන විට අදාළ නැව් විසින් එම රටවලට මුදල් ලබා ලබා දෙන බවත් එහෙත් අප රටේ පමණක් නැව්වලට මුදල් ගෙවා දැවි තෙල් මිලදී ගැනීම නිසා වසරකට විශාල ඩොලර් ප‍්‍රමාණයක් රටට අහිමි වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. මධ්‍යම පරිසර අධිකාරිය සහ අනිකුත් ආයතන විසින් මෙම කටයුත්ත නියාමනය සඳහා ප‍්‍රමාණවත් පරිදි අවධානය යොමු කර නැති බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.