කලාපයේ වැඩිම විදුලි බිලක් සහිත රටවල් අතරට අද අපේ රට එකතුවෙලා සිටින්නේ – මහින්ද අමරවීර

ලංකා විදුලිබල මණ්ඩලය රටේ ප්‍රධාන ආයතනයක් වගේම රටට විශාල බලපෑමක් කළ හැකි ආයතනයක් බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය
මහින්ද අමරවීර මහතා පවසයි.

විදුලිබල මණ්ඩලය අක්‍රීය වුවහොත් රටම අක්‍රීය වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ආයතනය වගේම රට ගොඩගන්න නම්, වංචාව, දුෂණය පිටුදැක, වඩාත් විනිවිදබාවයෙන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යරයා ,

“ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ මේ රටේ ඉතාමත් වැදගත් ආයතනයක්. ඒ වගේම රටට විශාල බලපෑමක් කළහැකි ආයතනයක්. ඒ නිසා අපි මෙම ආයතනය රැකගැනීමට කටයුතු කළ යුතුයි.

මේ වනවිට රටේ ජනතාව අතර මතයක් පවතිනවා මෙම ආයතනය තුළ අක්‍රමිකතා සහ දූෂණ පවතින බවට. ඒ ප්‍රචාරයන්ගේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත්, ආයතනය රැකගැනීමට අපි ක්‍රියාත්මක විය යුතුයි.

වෙනත් ආයතනවල වෘත්තීය සමිති සමග සාකච්ඡා පැවැත්වීම තරමක් අසීරුයි. නමුත් මෙම ආයතනයේ වෘත්තීය සමිති විසින් රටේ, මෙන්ම ආයතනයේ පැවැත්මට අදාළ වැදගත් කරුණු රාශියක් මට ඉදිරිපත් කළා.

මම තවදුරටත් සේවක පිරිස් වෙතින් ඉල්ලා සිටින්නේ ආයතනය රැකගන්න හැකි ආකාරයේ යෝජනාවන් මෙන්ම දූෂණ අක්‍රමිකතා තිබෙනවානම් ඒවා පිටුදකින්න, අවම කරගන්න හැකි ක්‍රමවේදයන් තිබෙනවානම් ඒවා ඉදිරිපත් කරන්න කියලයි. ලංවිම අක්‍රීය වුණොත්,  මුළු රටම අක්‍රීය වේවි. අන්න ඒ තත්ත්වය අවබෝධ කරගෙන අපි කටයුතු කළ යුතුයි ”

නව අමාත්‍ය මණ්ඩලයේ මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව, අමාත්‍යවරයා සිය ප්‍රථම නිල නිරීක්ෂණ චාරිකාව අද (25) දින පෙරවරුවේ සිදුකරන ලදී. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ සියලු අංශ වෙත පැම්ණි අතර සේවක පිරිස් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන්ද හමුවි ආයතනයේ පවතින තත්ත්වය පිළිබදව අමාත්‍යවරයා සාකච්ඡා කළේය.

“කලාපයේ වැඩිම විදුලි බිලක් සහිත රටවල් අතරට අද අපේ රට එකතුවෙලා සිටින්නේ. ඒනිසා විදේශ ආයෝජන විශාල වශයෙන් අවම වෙලා තිබෙනවා. ඒ තත්ත්වය මත විදුලිබිල අවම කරගැනීමට අපි කටයුතු කළ යුතුයි. ඔබ වෙනුවෙන් ඔබේ ආයතනයේ උන්නතිය වෙනුවෙන් මම ඕනැම වෙලාවක කැප වෙලා සිටිනවා.

ඒ නිසා ඕනෑම ගැටළුවක් තිබෙනවානම්, ඕනැම වේලාවක ඒ පිළිබදව මාව දැනුවත් කරන්න. විශාල ප්‍රශ්න සහිත අමාත්‍යාංශවල තමයි මම මීට පෙර කටයුතු කළේ. නමුත් කිසිම ආරවුලක් සිදුවුණේ නැහැ. මේ අමාත්‍යාංශයත් ඒ ආකාරයෙන් සාර්ථකව කරගෙන යන්න මම ඔබලාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

නව ජනාධිපතිතුමා නව ආකාරයෙන් සිතා කටයුතු කරන කෙනෙක්. එතුමා පූර්ණ කැපකිරීමක් තුළින් තමයි රට ඉදිරියට ගෙනයන්න හදන්නේ. එතුමා සියලු වියදම් අවම කරලා, නාස්තිය පිටුදැකලා තමයි පාලන කටයුතු මෙහෙයවන්න සැලසුම් කරන්නේ. ඒ ආකාරයෙන්ම තමයි අපිටත් කටයුතු කරන්න සිදුවෙන්නේ. එහෙම නොවුණොත් රට ඉතාමත් අසීරු තත්ත්වයකට පත්වෙන බව පැහැදිළියි.

මේ තත්ත්වයෙන් රට ගොඩ ගන්න ජනාධිපතිතුමාට, අගමැතිතුමාට වගේම අමාත්‍ය මණ්ඩලයට පමණක් බැහැ. සෑම කෙනෙක්ම දැඩි කැපවිමකින්, රට වෙනුවෙන් කටයුතු කිරීමෙන් තමයි අපිට මේ අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් ගොඩ එන්න හැකි වන්නේ. ආයතනය වගේම රට ගොඩගන්න නම්, වංචාව, දුෂණය පිටුදැකලා, ඊට එරෙහිව අවශ්‍ය පියවර අනුගමනය කරමින් වඩාත් විනිවිදභාවයෙන් කටයුතු කළ යුතුයි යැයි පැවසිය.”