“මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත වහා අත්අඩංගුවට ගත යුතු යි!”

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ මැර කණ්ඩායම් යොදා සාමකාමී අරගලකරුවන්ට පහරදීමෙන් පසු රට පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් මේ වන විට පුද්ගලයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබා සිටියි.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලවීමට වගකිව යුත්තේ කවුද?

බොහෝ පාර්ශව පෙන්වා දෙන්නේ අරගලකරුවන්ට අමානුෂික ලෙස පහර දී, මයිනාගෝගම හා ගෝටාගෝගම ගිනි තබා ගැටුම් ඇති කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු පිරිස් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව යි.

පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

සාමකාමී විරෝධාතාකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , හිටපු අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හා එම අපරාධමය කටයුතුවලට ආධාර අනුබලදුන් හා කුමන්ත්‍රණය කළ හා අපරාධමය කටයුතුවල නියළුනු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලෙස ඉල්ලා නීතිඥවරුන් පිරිසක් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

නීතිඥවරුන් පිරිසක් වන කමල් විජේසිරි, තුසිත ගුණසේකර ප්‍රමුඛ සමගි ජනබලවේගයට සම්බන්ධ නීතීඥවරුන් පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

නීති පතිවරයා පොලිස්පතිවරයාට යැවු ලිපිය

මේ අතර නීති පතිවරයා පොලිස්පතිවරයාට ලිපියක් මහින් පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම, සුරක්ෂිත කිරීම සහ ඉදිරියට ගෙන යාම රජයේ සියලුම ආයතනවල ව්‍යවස්ථාපිත යුතුකම වන බවයි.

“කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ රටේ දණ්ඩ නීති උල්ලංඝණය කරමින් විශාල පිරිසක් විසින් සාමකාමී විරෝධතා රැස්වීම්වලට බාධා කළ බව 2022 මැයි 09 වන දින කොළඹදී ඇති වූ සිද්ධීන්වලින් පෙනේ. ඔවුන්ගේ ව්‍යවස්ථාපිත නිදහස ක්‍රියාත්මක කිරීමේ යෙදී සිටින අයට ශාරීරික තුවාල සිදු කරමින් බරපතළ ස්වභාවයේ ශාරීරික පහරදීමක් ලෙස නීති විරෝධී මැදිහත්වීම් සිදු කර ඇති බව දැකගත හැකි විය.”යනුවෙන් නීතිපති සංජය රාජරත්නම් තම ලිපියෙන් පැවසීය.

“අදාළ කාරණාවල බරපතල ස්වභාවය සැලකිල්ලට ගනිමින්, ජනතාවගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම්වලට නීති විරෝධී ලෙස මැදිහත් වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙස මම ඔබට උපදෙස් දෙමි.”

“කොළඹ අගනගරයේ සිදුවීම් නිසා රට පුරා මිනිසුන් සහ ඔවුන්ගේ දේපළ සම්බන්ධ බරපතල ස්වභාවයේ ප්‍රචණ්ඩ ක්‍රියා වරින් වර අවුස්සා ඇති බැවින්, 2022 මැයි 09 වැනි දින සිදු වූ සිදුවීම්වලින් පසුව ඇති වූ සිදුවීම් පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන ලෙස මම ඔබට උපදෙස් දෙමි.”

“මෙම සිදුවීම් වටා ඇති දේශීය හා ජාත්‍යන්තර ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින්. කඩිනමින් ප්‍රමුඛතා පදනම මත විමර්ශන අවසන් කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.”

BBC News