කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලට ඕස්ට්‍රේලියාවෙන් වෛද්‍ය ආධාර

ශ්‍රී ලංකාවේ ලේඩි රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතාගේ ඉල්ලීම පරිදි සෙන්ට්‍රල් වීනස් කැතීටර්ස් සහ බ්‍රීතින් සර්කිටිස් යන උපාංගත් එෆොසන් පොස්පේට් නැමැති බෙහෙත් පෙතිවර්ගයත් එම රෝහලට ලබා දීම සඳහා “ඔස්ලමැට්” (AUSLMAT – Australia Sri Lanka Medical Aid Team) යනුවෙන් හැඳින්වෙන “ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා මෙඩිකල් ඒඩ්ස් ටීම්“ නැමැති සංවිධානය කටයුතු කරගෙන යන බව එම සංවිධානයේ සභාපතිනි මෙල්බර්න්හි ඔස්ටින් රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍ය ඉරෝෂා ප්‍රේමරත්න මහත්මිය පවසා ඇත.
ශ්‍රී ලංකාව තුළ වර්තමානයේදී මතුවී ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් රෝහල්වල පවතින ඖෂද සහ වෛද්‍ය උපකරණ හිඟය මඟහරවා ගැනිම සඳහා වෛද්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් “ඔස්ලමැට්” සංවිධානය මේ වන විට ගෙන ඇති පියවරයන් පිළිබදව ඕස්ට්‍රේලියාවේ “3ZZZ” ගුවන්විදුලියේ නිවේදකයෙකු වන විජය කරුණාසේන මහතා පසුගිය ඉරිදා
(24දා) මේ බව අනාවරණය කළේය.
“මෙම දව්‍ය ඕස්ට්‍රේලියාවෙන් මිලදී ගෙන මෙල්බර්න් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය මඟින් සෘජුවම කොළඹ ලේඩි රිජ්වේ ‍ළමා රෝහල වෙත ලබාදීමට සැළැසුම් කර ඇත. මීට අමතරව ශ්‍රී ලංකාවේ අනෙකුත් රෝහල් වලින් ලැබෙන ඉල්ලිම් සඳහා ඉන්දියානු සැපැයුමුකරුවන් ගෙන් තොග මිලට ඖෂධ සහ අනෙකුත් අවශ්‍ය දෑ මිලදී ගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනුග්‍රහයෙන් නොමිලේ ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමටත් කොලේජ් ඔෆ් ඉන්ටර්නල්
මෙඩිසින් සහ ශ්‍රී ලංකන් මෙඩිකල් යන ආයතන වල අධීක්ෂණය යටතේ එම ද්‍රව්‍ය අදාළ රෝහල් වලට ලබා දීමට කටයුතු කර එම රෝහල් වෙත සෘජුවම අමතා ඒවා රෝහල වෙත ලැබී ඇති බව සහ එම ද්‍රව්‍ය රෝහලේ භාණ්ඩ ලේඛණයට ඇතුළත් කර ඇති බව සනාථ කරගැනීමටද ඔස්ලමැට් සංවිධානය සැළැසුම් කර ඇත.
මීට අමතරව එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මැද පෙරදිග රටවල් සහ ආසියාතික රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල් වල පරිත්‍යාගශීලී සංවිධාන වල එකමුතුවෙන් “ මෙඩිලක් හෙල්ප් “ ශ්‍රී ලංකා නම් සංවිධානයක් ආරම්භ කර ඇති අතර සපයන්නන් සහ ආධාර ලබා ගන්නා රෝහල් අතර සංනිවේදනය පහසු කිරීමත් අත්‍යාවශ්‍ය බෙහෙත් සහ උපකර‍ණ සම්බන්ධව දත්ත යාවත්කාළීන කිරීම මෙන්ම එකම දෑ නැවත නැවතත් ලබා දීම වළක්වාලමින්
විනිවිදභාවයකින් යුක්තව ඔවුන් කටයුතු කරනු ඇත. “ යනුවෙන් එදින එම ගුවන් විදුලි වැඩසටහන ඔස්සේ කරුණාසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තවද මෙම සෞඛ්‍ය ආධාර වැඩසටහන යටතේ මූල්‍යාධාර රැස්කිරීම දැනටමත් අරඹා ඇති බැවින් ඊට දායක වීමට කැමැති අයට auslmat.org වෙබ්අඩවියට පිවිස අවශ්‍ය ආධාර කළ හැකි බවද “ඔස්ලමැට්“ සංවිධානය දන්වා සිටී.