ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයට අපි සහයෝගය දෙනවා,ඇමැතිකම් ගත්ත දෙන්නත් නෙරපුවා-දයාසිරි කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට ගොස් අමාත්‍ය ධූර බාරගත් ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාගවන් යන මහත්වරුන් පක්ෂයෙන් නෙරපා හැරිය යුතු යැයි පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
අද (26දා) පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,
“මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වෙන්නෙ නැත්නම් ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට අපේ පක්ෂයේ සහයෝගය ලබා දිය යුතුයි කියන තීරණයත් මධ්‍යම කාරක සභාව ගත්තා.අපේ අදහස වන්නේ අන්තර් කාළීන ආණ්ඩුව සඳහා සෑම දේශපාලන පක්ෂයක්ම අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුයි. එළියේ ඉදලා සහයෝගය දෙනවා කියන එක එතරම් ඵලදායී වෙන්නේ නැහැ කියන එකයි අපේ මතය වන්නෙ.” යනුවෙන්ද ප්‍රකාශ කර සිටියේය.
කෙසේ වෙතත් වත්මන් රජයට විරුද්ධව ඉදිරිපත් කරනා විශවාසභංග යෝජනාව සදහා පක්ෂව පැහැදිලි බහුතරයක් ඇති බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මාධ්‍ය වෙත පැවැසීය.