ඇමති නාමල් 42වැනි ජාතික යෞවන සම්මාන උළෙලේදී සම්මාන දීමේ සම්ප්‍රදාය වෙනස් කරයි.

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ 42වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙල අති
උත්කර්ෂවත් අයුරින් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පසුගියදා (26)
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙයන් පැවැත්විණි.

යෞවන සම්මාන උළෙල තවත් වර්ණවත් කළ කැපී පෙනෙන සිදුවීම වූයේ ප්‍රධාන ආරාධිතයා
ලෙස උළෙලට එක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, සියලුම සම්මානලාභීන්ට සම්මාන
ප්‍රදානය ඒ ඒ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් අතින් සිදුකිරීමට සළස්වා එදෙස බලා සිටීමයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ පැවැත්වීමට නොහැකි වූ 42වැනි ජාතික
යෞවන සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සෘජු
අධීක්ෂණය යටතේ ජාතික තරුණ සේවා සභාවේ ජව සම්පන්න තාරුණ්‍යයේ සංවිධාන
ශක්තියෙනි.

නැගී එන ජව සම්පන්න තාරුණ්‍යයේ කලා හැකියාවන් ඇගයීමට ලක්කිරීම සඳහා පැවැති
42වැනි ජාතික යෞවන සම්මාන උළෙලේ දී සිංහල හා දමිළ කෙටි නාට්‍ය, දිගු නාට්‍ය , ගද්‍ය හා
පද්‍ය රචනා ගායන, වාදන නර්තන යනාදී තරග අංශ 45ක් යටතේ තරුණ නිර්මාණකරුවන්
130කට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කෙරිණි.

විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන් වෙනුවෙන් ද නිවේදන, කථික,යොවුන් ගායනා, ජන
ගායනා, චිත්‍ර හා නව නිර්මාණ නැටුම් යනාදී තරග අංශ සඳහා යෞවන සම්මානවලට අමතරව
සහතික හා වටිනා මුදල් ත්‍යාග පිරිනැමීම මෙවර උළෙල තවත් අර්ථවත් කළේය.

මෙම සම්මාන උළෙලට සමගාමීව 09 වන යෞවන චිත්‍රපට උළෙලේ කෙටි හා වාර්තා චිත්‍රපට
තරගාවලියේ ජයග්‍රාහකයන්ට තිළිණ හා මුදල් ත්‍යාග පිරිනැමීම ද සිදුවිය.

90 දශකයේ අග භාගයේදී ජාතික තරුණ සේවා සභාව හා ජාතික රූපවාහිනිය එක්ව ශ්‍රී ලාංකේය
ප්‍රේක්ෂකයන්ට නවමු අත්දැකීමක් එක්කරමින් එළි දක්වන ලද ‘’තුරුණු ශක්ති සෞන්දර්යය
චාරිකාව’’ නැමැති ප්‍රථම රියැලිටි වැඩසටහන තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ
මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත නව පරපුරට ගැළපෙන පරිදි ‘‘තුරුණු ශක්ති Next
Gen’’ නමින් නව්‍යමතාවයන් සමඟ ආරම්භ කිරීමද මෙයට සමඟාමීව සිදුවිය.

දිවයින පුරා විසිර සිටින නිවේදන හැකියාවෙන් පිරිපුන් වයස අවු. 15-29 අතර තරුණ
තරුණියන්ගේ නිවේදන හා ගායන කුසලතා ජාතියට හඳුන්වාදීමේ අරමුණින් මෙම වැඩසටහන
සංවිධානය වේ.

මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ, තරුණ හා
ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් යන මහත්වරු ඇතුළු ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ
කලාකරුවෝ රැසක් එක්ව සිටියහ.