ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාංගණ 25ක් ඉදිකිරීමට ඇමැති සැරසෙයි

ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයාගේ ඉල්ලීමක් පරිදි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඔවුන්ගේ සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහා එම සම්මේලනයට අවස්ථාවක් ලබා දුන්නේය. එහි එක් පියවරක් ලෙස මෙරට 7500 කට වැඩි පාසල් වෙඩිකරුවන්ට පහසුකම් සැලසීම සඳහා දිස්ත්‍රික්කයකට එක් වායු තුවක්කු ක්‍රීඩාංගණය බැගින් ඉදිකිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවිය.
එහි අවසන් ප්‍රතිඵලය ලෙස දිස්ත්‍රික්ක 25 තුළ වෙඩි තැබීමේ ක්‍රීඩාංගණ 25ක් ඉදිකිරීමට නියමිත අතර එහිදී පාසල් ක්‍රීඩකයන්ට පමණක් නොව, සාමාන්‍ය ජනතාවටද තරගකාරී මට්ටමින් මෙන්ම විනෝදාස්වාදය සඳහාද වෙඩි තැබීමේ ක්‍රීඩාවේ නිරත වීමට හැකි වනු ඇත.
එම හමුවේදී ඉතා ඉක්මනින් සාදා නිමකළ යුතු ක්‍රීඩාංගණ 3 ක් අනුමත කිරීමට අමාත්‍යවරයා කඩිනම් පියවර ගත් අතර දෙසැම්බර් ලබන මස 31 වැනිදාට පෙර එම ක්‍රීඩාංගණ 3 ඉදිකර අවසන් කිරීමේ කර්තව්‍ය ‍ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට පැවරීමටද ඔහු කටයුතු කළේය.
‍ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයා කියා සිටියේ වසර ගණනාවකට පසු ක්‍රීඩා අමාත්‍යවරයකු බාධාවකින් තොරව වෙඩි තැබීමේ ක්‍රීඩාව ඉදිරියට කරගෙන යෑමට ස්ථිර තීරණයක් ලබා දුන් පළමු අවස්ථාව මෙය බවයි. ප්‍රකාශ නිකුත් කිරීමට වඩා ක්‍රියාව ගැන විශ්වාස කරන ඇමතිවරයකු සමඟ වැඩ කිරීමට ලැබීම තමාට මහත් සතුටක් බවද එහිදී ඔහු වැඩි දුරටත් පැවසීය.
“මෙම දරුවන්ට දැන් පුහුණු වීමට ස්ථානයක් තිබීම ගැනත්, වෙඩි තැබීම ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සහ ඔවුන්ගේ විනය වැඩි දියුණු කරන්නේ කෙසේද යන්න ගැනත් මම සතුටු වෙනවා.” යැයිද ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ සභාපති ශිරාන්ත පීරිස් මහතා පැවසීය.
පාසැල් ගුරුවරුන් පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම සඳහා ද මෙම වැඩසටහන ව්‍යාප්ත කර ඇති අතර එමගින් ඔවුන් යටතේ සිටින සිසුන්ගේ පුහුණුව වර්ධනය කිරීමටද සම්මේලන බලාපොරෝත්තු වේ. මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය වන අතර වෙඩි තැබීමේ සම්මේලනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් දැනටමත් අධ්‍යාපන හා ක්‍රීඩා අධ්‍යක්ෂ දයා බන්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පවත්වා ඇත.