රෙදි ගැලවෙන ඇමැතිගෙ බාර් ලයිසන් බෙදිල්ල… (නිලියාගේ ගවේෂණ 1 කොටස)

අවබෝධයත් දැනුමත් අතරින් සතුට සොයා යන්නෙකුට සතියකට වතාවක් ගවේෂණ චාරිකාවකට වෙනස්ම මගක් හෙලි කරන “අදැස ගවෙිෂී”  මේ සතියේ සිට ඔබ වෙත ගෙන එන්නේ ඔබේ හිතවත් නීලියා…..

පලමු ලිපියෙන් මතක් කරන්නේ නීලියා වන මම රජයේ අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන සමයක මත්පැන් බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ අකාරයයි.
වසර නොකියමි . අනූව දශකය පමණක් කියමි. එක් මන්ත්‍රී වරයෙක් වෙනුවෙන් “FL 04” බලපත් තුනක් නිකුත් කරන බව පැවසිණි.
රාත්‍රිය එළඹියේ වර්ෂාවද සමගිනි. ඇමතිවරයාගේ පෞද්ගලික කාර්යාලයේ මමත් එතුමාත් ආරක්ෂක නිලධාරියකුත් පමණක් විය. ඔහුට ඉවතට යන්නට උපදෙස් දුන් එතුමා “නිලියා අද ලේකම්‍ කාර්යාලයෙන් ආපු ලියුම් මොනවාදැ”යිි  විමසීමක් කරන ලදී.
සුපුරුදු පරිදි ප්‍රශ්නයට සූදානමින් සිටි මා අදාල ලිපි ගොනුව සමගින් ඔහු ඉදිරිපිට අසුන් ගතිමි.
අදාල ලිපිය අතට ගත් ඔහු මේ සම්බන්ධයෙන්  කුමක්  කලයුතුදැ යි⁣ මගෙන්  විමසූ අතර මගේ පිලිතුර  වූයේ බලපත් ලබාදෙන තිදෙනා තෝරා ඔවුන් දැනුම්වත් කර නිසි පරිදි – විය යුතු පරිදි  ඔවුන් ලවා අයදුම් පත්‍ර ඉදිරිපත්  කල යුතු බවයි.
ඉතා හිතහොඳ මිනිසෙකු වූ ඔහු එයට කැමති නොවීය. මා ඇමතූ ඔහුු “නිලියා , මම කොහොමද ? තුන් දෙනෙක් විතරක් තෝරන්නේ. මට උදව් කරපු , රටබීම හල් බලාපොරොත්තු වෙන දහ දොලොස් දෙනෙක් ඉන්නවා. මොක වුනත් මම ඒ හැමෝටම මේ ගැන කියන්න  එපායැ” යි පවසත්ම  “වැඩේ අනාගන්න සර් හදන්නේ” යැයි මගේ මුවින් පිටවුණි.
මම නම් කරන සියළු දෙනා මේ සම්බන්ධයෙන්  දැනුවත් කරන්න. අදම ඔවුනට ටෙලිෆෝන් කර අසවල් දින අසවල් වේලාවට මේ කාර්යාලයට පැමිණෙන්න  කියන්න. ඉතිරි වැඩ ටික ඔයා සූදානම් කරන්න  යයි පවසමින්  සිනාසී රාත්‍රී ආහාරය සඳහා යාමට මටද ආරාධනා කරන ලදී. කෙසේ වෙතත් මේ සම්බන්ධ කිසිවක් සිය බිරිඳට නොපවසන ලෙස කාරුණික ඉල්ලීමක්ද ඉදිරිපත් විය. එලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුවද නොවූවද මා ක්‍රියා කලේ  කවදත් ඒ ඉල්ලීමේ අර්ථය තේරුම් ගත්තකු පරිද්දෙනි.
දිනය වේලාව සමගින් නම් කරන ලද පුද්ගලයින් එකොලොස් දෙනෙක් වෙත දුරකථන පණිවුඩ ලබාදෙන ලදී. මෙහි සැලකිය යුතු කරුණක්  වන්නේ එකල  දුරකථන ඉතා සීමිත  සංඛ්‍යාවක්  පමණක් තිබූ හෙයින් මෙකී පණිවුඩ ලබා දෙන ලද්දේ ආසන්නම තිබූ පොලිස් ස්ථානයට වීමයි. ප්‍රධානියා වෙත සැලකල පණිවුඩය පහල නිලදරුවකු විසින් අදාල පුද්ගලයා වෙත රැගෙන යන ලදී.
දිනය උදාවිය. වේලාව ආසන්න විය. සාමාන්‍යයෙන් කියන පරිදි සපෝටර්ස්ලා එකොලොස්  දෙනෙක් තම පරිවාරකයින් පිරිවරා ගෙන වාහන දහ හතරකින් නිල නිවසට සම්ප්‍රාප්ත විය. එදින අදාල කාල සීමාව  තුලදී අනවශ්‍ය කිසිවකුගේ පැමිණීමක් නොවන්නට  මා විසින් වග බලා ගන්නා ලද බවද පැවසිය යුතුමය.
සපෝටර්ස්ලා නැතහොත් බීමහල් අයදුම් කිරීමට බලාපොරොත්තු  වන්නන්  පමණක් නිවසේ කාර්යාලයට කැඳවා අසුන් ගන්නට සැලැස්වීමෙන්  අනතුරුව සාකච්ජාව පැවැත්වීමටත් කරුණු පැහැදිලි  කිරීමටත් අමාත්‍යවරයාට ඇරයුම් කලෙමි.
කාර්යාලයට පිවිසි ඔහු “ආ… නීලියා මෙයාලට තේ එකක් වත් දුන්නේ නැද්ද? අද කට්ටියටම හොඳ දවසක්නේ නියම විදියට නම් රත්වෙන දෙයක් තමයි වටින්නේ. ඒත් මම ඒවා පාවිච්චියක්  නැහැනේ. ටක් ගාලා කෝපි හදවන්න” යැයි පවසමින් අදාල කාරණයට බසින ලදී.
හිතවතුන් එකොලොස් දෙනා වෙත ලේකම් කාර්යාලයෙන් එවන ලද  ලිපිය පෙන්වූ  ඔහු තමා නම් කරන තිදෙනෙක් වෙත “රබී 04” බලපත් ලැබෙන බවත් අදාල ඉල්ලුම් පත්‍ර නිසි පරිදි පුරවා යවන ලෙසත් තමා ඉල්ලුම් කරන ස්ථානයේ ඇති ගොඩනැගිල්ල  අයදුම්පතේ සදහන් කර ඇති ආකාරයට රාක්ක ගසා දැල් ගසා දොරවල් ආදිය නිසි ⁣ලෙස සකසා  විමර්ශනය සඳහා පැමිණෙන කණ්ඩායම එන විට සූදානම්ව තබන ලෙසත් අතිරේඛ යමක් වෙතොත් නීලියා වන මාගෙන් විමසා දැනගන්නා ලෙසත්  පැවසීය.
හිතවතුන් ඔවුන් ජීවිතයේ විඳින ලද හොඳම හෝරාව එම හෝරාව බව ඔවුනගේ හැසිරීමෙන් ඔප්පු කරමින් සි⁣ටියහ.මෙවන් වෙලාවකදී වුවද කිව යුත්තක් වේනම් එය නොකියා ඉඳීම මගේ සිරිත නොවීය. ඔවුනට කෝපි පිලිගන්වන අතර මම මෙලෙස දොඩමළු වූයෙමි.
“මම නම් සර්ට කිව්වේ කවුරු හරි තුන් දෙනෙක් තෝරලා ඒ අය දැනුම්වත් කරන එක”
එතනින් එහාට කතා අවශ්‍ය වුයේ නැත. සියල්ලෝම එක හඬින් මගේ ප්‍රකාශය හරි නැති බවත් සර් ගත් තීරණය වඩාත් නිවැරදි  බවත්  කියා පාන්නට විය. සර් කවදාත් ලැබුනු දෙයක් සැමටම උරුම කර දෙන්නට උත්සාහ කරන බව තව දුරටත්  කියා සිටින ලදී. මා දෙස බැලූ ඇමතිතුමා “කොහොමද? නීලියා මම හරිනේද?” පවසමින් පැහැදිලි ලෙසම අවංකවම නිරාමිස සතුටක් ලබමින් දෑතින් දෑත පිරිමදින්නට විය. තමා සාර්ථක යැයි ඔහුට වැටහුණේ  කොයි අවස්ථාවක දීද ? ඒ සෑම විටම දෑත් පිරිමැදීම ඔහුගේ ශාරීරික භාෂාව විය.
මම එළියට බටුයෙමි. හිතවතුන් සමග පැමිණි ඔවුනගේ සහායකයින් තම හිතවතා ඉදිරියේදී ආරම්භ කරනා රටබීම හලේ මත්පැන් පානය කරන අයුරුත් ඕනෑම මොහොතක තමනට වෙරිවිය හැකි අයුරුත් සම්බන්ධව එකිනෙනා දොඩමළු වෙමින් ඉතාමත් ප්‍රීතියෙන් ගත කරනායුරු  නිරීක්ෂණය කලෙමි.
ඔවුන අතරින් කීප දෙනෙකු හා කතා කල විට ඔවුන් මට පැවසුවේ තමන්ගේ බොසාට අනිවර්යයෙන් මේ සඳහා අවස්ථාව ලැබෙන බවත්  අනිත්  අය කැඳවා ඇත්තේ ඔවුනගේ සිත සැනසීම සදහා බවත්ය.  කෙසේ හෝ වේවා තවත් හෝරා භාගයකදී අමාත්‍යවරයා මා අමතා මේ කණ්ඩායමට අවශ්‍ය  උපදෙසක්  වේ නම්  ලබාදෙන ලෙස පවසමින්  සාකච්ජාවෙන් ඉවත්  විය. දැන් සියළු  දෙනට අවශ්‍ය  ඔවුනගේ බලාපොරොත්තුව නිශ්චිත ලෙසම ඉටුවේදැයි මා වෙතින්  සැක හැර දැන ගැනීමය.
ඉදිරියේදී  මුහුණ පාන්නට වන අකරතැබ්බය ගැන ඉවෙන් මෙන් වටහාගත්  නිසාදෝ ඔවුන් කිසිවෙක් වෙත සැනසිලි වචනයක් හෝ දොඩන්නට මා සිත ඉඩ නොදෙයි.  අවසන් තේරීම සර්ගේ බවත් අදාල සුදුසුකම් සම්පූර්ණ කිරීම ඔබ සතු බවත් පමණක් සදහන් කරමින් එදින සාකච්ජාව හමාර කලෙමි. ඔවුන්  සිය සහචරයන්ද සමග පැමිණි වාහනවලිිින් ඉගිල ගියහ.
ගැටළුව මතුවූයේ ඉන් දින කීපයක්  ඉක්ම යද්දීය. සවස අදුර වැටෙත්ම නිල නිවහන දෙසට පෙර කී හිතවතුන් එකා දෙන්නා සිය සගයින් කීප පොලක්ද සමගින් තම වාහන වල නැගී පැමිණෙන්නට පටන් ගති. මම එතුමාට (සර්ට) මේ බව දැන්වීමි. ඔවුන්  ප්‍රශ්න කරන්නේ තම කාරණය ටක්කෙටම හරිද? යන්නයි. ගෙනා ත්‍යාග ගැන මට වද කරයි.එතුමාට උත්තර නැත. නීලියා ඔයා මගේ සෙකට්‍රි. ඔයා දැන ගන්න ඕන මේ වගේ වෙලාවක වැඩ කරන ක්‍රමය  ගැන. අහන්න එන්න එපා . එක එක්කෙනා ගෙන්න දෙනවා කතා කරන්න. දෙන්නෙක් එක සැරේ එපා. මුහුණ කළු කරගෙන එතුමා පවසයි.
මම යලිත් එලියට පිවිස එක් එක් කණ්ඩායමේ ප්‍රධානියා  ආමන්ත්‍රණය කරමින්  සියල්ලෝම එකට පැමිණ ඔබේ කාරණය කර ගත නොහැකි බවත් නගරය දෙසට  ගොස් අඩ හෝරාවකින් නැවත පැමිණෙන ලෙසත් එක් කණ්ඩායමක් පිටත් කරමි.තවත් අයෙකුට හෝරාවකින් එන ලෙස උපදෙස් දෙමි. ඉතිරි කණ්ඩායම  සාකච්ජාවට ගනිමි.
වෑන් රථය මුහුදු ගිහිල්ලා ආව එකක් දැයි සැක සිතේ. එපමණ පිලීගදය. ඔහ්… දඬු කෙලවල්ලෙකි. උගේ තනියට පොකිරිස්සන් පාර්සලයකි. මුං උයන විට මිරිස් වැඩි වුවහොත් කටසැර අඩුකර ගැන්මට වත්තේ වැටුනු ගහේ ඉඳුනු කෝලිකුට්ටු කැනකි.  එහි ගෙඩියකින් කැත්තකට මිටක් ගැසිය හැක. රටබීම  සාප්පුවට හරිනම් දැන් දැන්ම අනුමැතිය  දිය යුතුය. ත්‍යාග වෙනුවෙන්  සිත පිරෙන්නට වචන සමගින් තේ පැන් සංග්‍රහයකි. ඔවුන් දැන් යා යුතුය. නැතහොත් එලවිය යුතුය. මන්ද අඩ හෝරාවකින් පැමිණෙන ලෙස දැනුම් දුන් අය මේ වන විටත් මේ ලඟම විය යුතුය. ඉහලම ලොක්කාට කෝල් එකක් ගත යුතු බව පවසමින් එතුමා සභවෙන් ඉවත් වෙයි. මම එලියට බසිමි. කවුරුත් සාකච්ජා මේසයේ නොමැති කමින් ඔවුන්ද එලිපෙහෙලියට පැමිණෙයි. තත්පර කීපයක්න මම ආපසුු කාර්යාලයට ගොස් ලොකු ලිපිගොනුවක් සමග දුරකථනය කනේ තබා ගනිමි . හිතවතා තම නඩය සමග යන්නට ගොසිනි.
 ඊලඟ හිතවතා පැමිණෙයි. ත්‍යාග නිශ්කාශනය  ඇර⁣ඹෙයි. පොඩි මඩුවක් ගසා ගත්තොත් දින කීපයක් පලතුරු විකිණිය හැකිය. කා ඉවර කිරීමට නොහැකිි වුවහොත්  මස් ටින් කල යුතුය. අව්වේ වියැලූ ඒවා දඩමස් බව කියැවේ. පෙර සදහන් කල පරිදිම සියල්ල සිදුවේ. එතුමා කෝල් එකට. මම එලියට. හිතවතා තම පිරිවර සමගින් ගමට ගෙදරට. එදින තෙවැන්නාද පැමිණියා. ඔහු නිවෙස අළුත්වැඩියාවකට සූදානමින් ආවාදෝ කියා සැකයක් මට ඇතිවුණා. මන්ද ඉමල්ෂන් ටින් ගණනාවක් . මොකෝ ගෙදර අතුගාන කොස්සෙන් ගාන්නයැ. මිනිහා රෝලර් බ්‍රෂ් නිකම් බ්‍රෂ් අර බ්‍රෂ් මේ බ්‍රෂ් ඔක්කෝම ගෙනල්ලා. ජෝර්ජ් බුෂ් ගෙනල්ලා නැහැ වේලාවට. එතුමා දොස් කිව්වා මෙයාට. තමන් මේ වගේ දේවල් නිකම් කර ගන්න කැමති නැති බවත් කිව්වා. හදිසියේවත් පර්මිට්‍ එක නොලැබී ගියොත් මුහුණ දීගත නොහැකි  බවත් කීවා. නොහැඬුවා විතරයි.
හිතවතාගේ පපුව උණුවුනා. මම මේව කරන්නේ පර්මිට්‍ එක ගන්න නෙවෙයි.ඕක ලැබුනත් එකයි.  නොලැබුණත් එකයි. සර්ට හිතවත් කමටයි මේක  කරන්නේ .මිනිහාත් නොහැඩුවා විතරයි. අන්තිමේ හිතවතා කැමති දෙයක් කරගන්න ඇමතිතුමා කැමැත්ත  දුන්නා.  රාත්‍රියට කෑමත් දීලා මෑන්ස්වත් ගෙදර ඇරියා.
 “නීලියා දැන් අපිට තුනක්  තෝරන්න  වෙන්නේ දහ දෙනෙක් ගෙන්” එතුමා කියාපි. මට මේ හරුපය එකවර වැටහුණේ  නැති  නිසා  මම එතුමා ගේ මුහුණ  බලාගෙන ප්‍රශ්නාර්ථයක්  දෑසෙහිත් නලලෙහිත් හොවාගෙන සිටියෙමි. “ඇයි නීලියා ඌ කිව්වේ උගේ බලාපොරොත්තුවක්  නැතෙයි කියලා පර්මිට්‍  එක ගැන. ඒ නිසා අපි එයා ගැන හිතන්න ඕනි නැහැ. බලන්න තව ඔය වගේ පර්මිට් එක ගැන වැඩිය නොසොයන අය ඉන්නවාද කියා. එහෙම තව හතක් හොයා ගත්තොත්  ගොඩම තමයි.
ඉතිරි අට දෙනාද මේ පර්මිට් එක වෙනුවෙන්  නෑගම්  අවෝය. ත්‍යාග ගෙනාවෝය. කතා බහ කලෝය. තේ පානය කොට ආපසු ගියෝය. සැලකිය  යුතු කරුණ වන්නේ ඇමතිතුමා ඉදිරියේ බොක්ක උනුවී හැඟීම් බර  වූ හිතවතුන් කීප දෙනෙක් පෙර සදහන් කල තෙවැන්නාට වූ අලකලංචියම සිදුකර ගැනීමයි . එනම් ඔවුන්ද පර්මිට් ලැබීමේ කුලකයෙන් ඉවතට දෝලනය
වීමයි.
දින සති ගතවී මාස දෙක තුනක්  ගෙවී ගියේය. මේ කාලය තුල හිටි හැටියේ ඔවුන් සවස හෝ රාත්‍රියේ නිවසට කඩා වදී. සසර ගමනේ හමුවූ ඉහළම කලණ මිතුරා හමුවන්නට යන්නාසේ මෙසේ ඔවුන් පැමි⁣ණෙන අතර ඔවුන් දෙදෙනෙක් එකවර මුලිච්චි නොවන්නට මම වග බලා ගතිමි. මොවුන් ආ බව මා එතුමා  වෙත සැල කරත්ම  උණ රෝගියෙකුගේ පෙනුම ඔහුට ආරූඪ වනු දක්නට ලැබිණ. උණ තබා උණසන්නිපාතය වැළදී තිබුනද  එතුමා හමුවී සිත  හදා ගන්නා තුරු ඔවුන් නිවසින් පිට කිරීම කල නොහැක්කක් විය
කාර්යාලයට කැඳවූ ඔවුන් එතුමා හමුවත්ම ” ආ.. නීලියා  මේ ප්‍ර්‍රශ්නයේ තත්වය මොකක්ද? ගන්න බලන්න ගන්න” යැයි පැවසුවද ගන්නට කිසිවක් නොවීය. ලේකම්ධුරය දරන්නේ මා නිසාත් දන්නා හඳුනන මිනිසුන් ඉදිරියේ මටද නිෂ්ශබ්දව සිටිය නොහැකි නිසාත් මෙම අපභ්‍රංසය අනිවාර්යයෙන් එන බව ආරම්භයේදීම මා විසින් දක්නා ලද නිසාත් මේ වෙනුවෙන් සකස් කරන ලද ලිපි එකොලහක් සහිත ලිපි ගොනුවක් මා විසින් මා භාරයේ පමණක් තබා නඩත්තු කරන ලදී. එකී ලිපි එකොලසම එකම ලිපියක් වන අතර සෑම අයෙකුගේම නම එක ලිපියක පලමුව සදහන් කර තිබිණි. ඊට ඉදිරියෙන් මොහු මාගේ ප්‍රධාන (…..)  ආධාරකරු ලෙසද සටහන් කිරීමට වග බලා ගතිමි.
ලිපි  ගොනුව අතේ තබාගෙන අදාල හිතවතාගේ නම ප්‍රථමයෙන්  සදහන්  ලිපිය  ගෙන “මේ තියෙන්නේ  යැයි එතුමා අතට පත්කල  විට ප්‍රීතියෙන් පිනා යන එතුමා මේ තියෙන්නේ ඔයාගේ නම එකට. මේ වරහන් ඇතුලෙත් දාලා තියෙන්නේ  ඔයා මගේ  ……….. කරු කියලාත්…. ඉතින් මගේ පැත්තෙන් ඔන්න ඔක්කොම කරලා තියෙන්නේ. ඔයිට එහා දෙයක් මම දන්නේ නැහැ. ඔය ලිපිය තමයි  අදාල ලේකම් කාර්යාලයට යවලා  තියෙන්නේ. වැඩේ නොකෙරෙන එකක් නැහැ.හහ්…හහ්…ගාමින් හිමින් සීරුවේ ඔහු ඉවත්ව යන්නේ ඉතිරිය මට පවරමිණි.
එකොලොස් දෙනාම තමාගේ නම ප්‍රථමයෙන් ඇති ලිපිය දකී. දැන් බීමහල ලැබීම නියතයකි.කාලය පිළිබඳ ප්‍රශ්නය පමණි ඉතිරිව ඇත්තේ . අදාල ලේකම් කාර්යාලය මගින් මේ පිලිබදව අපහට දන්වන ලදී. බලපත්‍ර ලාභීනට පැමිණෙන ලෙස දන්වනු ලැබිණ. එකොලොස්  දෙනා අතරින් එක් අයෙකුගේ නම තිබුණි. දෙදෙනෙක්  දිස්ත්‍රික්කයේ  අයවත් නොවීය. දස දෙනෙක් චක බ්‍ලාස්ව ඇත්තේය
සති දෙකක් පමණ යනතුරු කිසිවෙක් කාර්යාලයේ හෝ නිවසේ දුරකථන  කනේ තිබ්බේ නැත. ඒ එතුමාගේ මාපිය සම්බන්ධ  ජාතක කතාවක් අනික් කෙලවරෙන් ඇසෙනා බැවිනි. මනුෂ්‍ය ශරීරයේ ඇති අංග හා ⁣පවුල් සෞඛ්‍ය වැඩ සටහන්ද සමහරක් වේලාවට ඇසේ. ආතල් එකක් ගන්න කැමති  ආරක්ෂක අංශයේ අයෙක් නාදවන දුරකතනය විටක කනේ තබා ගනී.මිහිරි තෙපුල් හුවමාරුු  වනු ඇසේ.
ප.ලි..   මාස දෙකක් පමණ ඉක්ම යාමෙන් අනතුරුව එතුමා අපට වඩා දුර දක්නා අයකු බව වටහා ගතිමි. මන්ද පර්මිට්  නොලැබුණු දහ දෙනාම පෙර මෙන් නිල නිවසේ ගැවසෙනු දක්නට ලැබුනු අතර පර්මිට් ලැබුණු  කිසිවකු  ඉන් පසු එහි නොආ බැවිනි. අවශ්‍යතාවයක් වී නම් එතුමා ඔහු හමුවී කාරණාව ඉටු කරගෙන එන ලෙස මට පවරනු ලැබිණ.  .
සමාප්තයි.
ලබන සතියේත්…… ඔබ වෙනුවෙන්……. බලාපොරොත්තු  වන්න.