ඇමැතිගේ ගෝලයෝ පොලිසියේ නාමපුවරුවට ගල්ගසයි

රාජ්‍ය ඇමැතිවරයකුගේ ආධාරකරුවන් යැයි කියන පිරිසක් විසින් ගම්පොළ පොලිස් වසමේ පුස්සැල්ලාව පෙරට්ටාසි පොලිස් ස්ථානයේ නාම පුවරුට ගල්ගසා හානිකර ඇත.

මෙම ප‍්‍රදේශයේ සිදුවන විවිධ අපරාධ මැඩපැවැත්වීම සහ සාමකාමී ජන ජීවිතයක් ගොඩනැගීමේ අරමුණින් පසුගිය දෙසැම්බර් මාසයේ මෙම පොලිස් ස්ථානය විවෘත කරන ලදි.

රාජ්‍ය ඇමැතිගේ ගෝලබාලයෝ පෙරට්ටාසි පොලිසියේ නාමපුවරුවට ගල්ගසා හානි කරලා

මෙම ප‍්‍රහාරය කළ බවට චෝදනා එල්ල වී ඇති රාජ්‍ය ඇමැතිවරයාගේ ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු මෙවර නිදහස් දින උත්සවය වෙනුවෙන් පොල් පැළ රෝපණය කර ඇති බවත්, වතු පාලකයන් විසින් ඒවා ගලවා දමා ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙම පොලිසියට පැමිණිලි කළත් පොලිසිය පියවරක් ගෙන නැතැයි ද කොත්මලේ ප‍්‍රාදේශීය සභා මාසික රැුස්වීමේදී ද මන්ත‍්‍රීවරුන් දෙදෙනා අදහස් දක්වා තිබිණි. ප‍්‍රදේශයේ සිදු වූ අක‍්‍රමිකතා වැළැක්වීමට පොලිසිය කටයුතු කරන නිසා මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පොලිසියේ නාමපුවරුවට හානි සිදු වී ඇති බවත්, පහරදීම සඳහා පුද්ගලයන් සිවුදෙනකු පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ය.

එම සිව්දෙනා කාගේ කවුරුන්ද හෝ දේශපාලනයට සම්බන්ධයක් තිබෙන අය ද නොදන්නා බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් පැවසීය.

චමින්ද සිල්වා, ගම්පොළ – සුරංග දිල්හාන්