හෙල්ලෙන් ඇන මසුන් ඇල්ලීමේ ටික්ටොක් වීඩියෝව….

හෙල්ලෙන් ඇන මසුන් ඇල්ලීමේ (spearfishing ) ක්‍රමය ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී ය. නමුත් මෙම ක්‍රමයට මසුන් අල්ලා ඒ ගැන උදම් අනමින් පළ කර තිබෙන ටික්ටොක් වීඩියෝවක් මේ දිනවල කථාබහට ලක්වේ.
මිරිදිය මත්ස්‍ය රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව (DFAR) විසින් මෙම වීඩියෝව පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. පසුගියදා මිරිස්ස ප්‍රදේශයේ මෙම සිදුවීම වාර්තාවී ඇති බවට දැනට කරුණු අනාවරණය වේ. එම ප්‍රදේශය සංචාරකයින් අතර ප්‍රකටවීම හේතුවෙන් හෙල්ලෙන් ඇන මසුන් මරනා සිදුවීම් දැන්  සුලභබව පරිසරවේදීන් සාක්ෂි සපයා ඇති අතර ඒවා නවතා දැමීමට වැඩ පිළිවෙලක් මෙතෙක් නැත.

ශ්‍රී ලංකාව තුළ හෙල්ලෙන් මසුන් ඇල්ලීම නීති විරෝධී වන අතර තහනම ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී ඇතත්, ශ්‍රී ලංකා රජය එම තහනම ඉවත් කිරීම හෝ දැනට පවතින නීති ලිහිල් කිරීම සලකා බලා නැත.
කංචන විජේසේකර රාජ්‍ය ඇමතිවරයා මේ ගැන සටහනක් තබමින් ඊයේ ට්වීට් කළේ වහාම විමර්ශනයක් අරඹන බව දක්වමිනි.
මීට සති දෙකකට පෙර දෙහිවල ප්‍රදේශයේ ද වැටලීමක් සිදු කළ බවත්, වැටලීමේදී අත්අඩංගුවට ගත් හෙල්ල තුවක්කුවල ඡායාරූප ද නිකුත් කළ බවත් ඔහු සඳහන් කළේය.

TikTok හි “@king_of_fishing” පරිශීලක නාමය සහිත වීඩියෝව මිරිස්ස ප්‍රදේශයේ තහනම් ක්‍රීඩාවේ නිරත පුද්ගලයා ප්‍රසිද්ධ කර ඇත. මීට සති දෙකකට පමණ පෙර සිදුවූ  මෙම සිදුවීම ගැන ජලජ සම්පත් දෙපාර්තමේන්තු බලධාරීන් අදහස් පළ කර ඇත.
වෙරළාරක්ෂක භටයන් ඔහුව අල්ලා ගැනීමට උපරිම උත්සාහයක් ගත්තද ඔවුන්ට නොහැකි වූ බවත් දන්වා ඇත.

1996 අංක 2 දරන ධීවර හා සම්පත් පනත යටතේ යම් පුද්ගලයෙක් හෙල්ලයකින් මසුන් අල්ලමින් අසු වුවහොත් රුපියල් 25,000 දඩයක් අය කළ හැකි බව බලධාරීන් දන්වා ඇත.
පරිසර සංරක්ෂණ සම්බන්ධීකාරක මුදිත කටුවාවල  ප්‍රකාශ කළේ මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂයෙන් දකුණු වෙරළ තීරයේ නිරීක්ෂණ කටයුතු වැඩි කළ යුතු බවයි.
වීඩියෝව පහතින්