පළමු තරග අටම පරාජය වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් අයි.පී.එල්. වාර්තාවක්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයි.පී.එල්.(IPL 2022) තරගාවලියේදී සහභාගී වූ පළමු තරඟ 8 පරාජයට පත්වී ඇති අතර වසර 15 ක අයි.පී.එල්.තරඟාවලි ඉතිහාසයේ තරඟ 8 ක් ආරම්භයේ සිටම එක දිගට පරාජය වූ පළමු කණ්ඩායම ලෙස ඔවුන් වාර්තා ගත වනු ඇත.
මේ අනුව මහේල ජයවර්ධනගේ ප්‍රධාන පුහුණුකාරිත්වය යටතේ රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් තරග වදින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරග වදින කණ්ඩායම් 10 අතර කිසිදු ජයග්‍රහණයක් වාර්තා නොකළ අසාර්ථකම කණ්ඩායම වෙමින් ලකුණු සටහනේ පතුලටම වැටී ඇත.
මෙයට පෙර, දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් (දැන් දිල්ලි කැපිටල්ස් ලෙස හඳුන්වන) කණ්ඩායම 2013 දී සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම 2019 දී පිට පිටම පරාජයන් හයක් බැගින් වාර්තා කර තිබූණි. අත්දැකීම් අඩු පන්දු යවන්නන් සහිත නව මුහුණුවරකින් යුත් කණ්ඩායමක් වීම පමණක් නොව, පිතිකරණයේ දුර්වලතාද හේතුවෙන් මුම්බායි කණ්ඩායමට මෙවර මෙවන් ඉරණමක් අත්වීමට බලපා ඇති ප්‍රධාන හේතු බවද විචාරකයින්ගේ මතය වී ඇත.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අඛණ්ඩව තරඟ අටක් පරාජය වී ඇතත්, එය තවමත් නරකම පරාජයන් මාලාවක් නොවේ. ඊට හේතුව පූනේ වොරියර්ස් ඉන්දියා සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් (දැන් කැපිටල්ස්) යන කන්ඩායම් දීර්ඝතම පරාජයන් 11 ක් බැගින් මීට පෙර වාර්තා කර තිබීමයි.
පූනේ කණ්ඩායම 2012 සහ 2013 තරග වාර පුරාම පිට පිට තරග 11ක් පරාජයට පත් වූ අතර දිල්ලි කණ්ඩායම 2014 සහ 2015 යන තරගාවලියන් අතර කාලය තුළ තරග 11ක් පරාජයට පත් විය. පූනේ පිල 2012දී තරග 9ක් ද 2013දී තවත් තරග දෙකක්ද පිට පිටම පරාජයට පත්වී ඇත. දිල්ලි පිල 2014 දී අඛණ්ඩ පරාජයන් නවයකට මුහුණ දුන් අතර තවත් අඛණ්ඩ පරාජයන් දෙකකින් 2015 අයිපීඑල් තරග වාරය ආරම්භ කළේය.
ඉතිහාසය එසේ වුවත් පස් වතාවක්ම ශූරතාව දිනාගෙන සිටින කණ්ඩායමක් ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර දක්වන අසාර්ථකත්වය පිළිබඳව සියල්ලෝම බොහෝ කලබල වන  තත්වයක් නිර්මාණය වී ඇති බවද පැවැසේ. සෑම කණ්ඩායමක්ම “තරග පරාජය වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි නමුත් ආරම්භයේ සිටම අඛණ්ඩව තරග 8ක් පරාජය වීම යනු ඔවුන්ට මෙවර තරගාවලිය පිළිබඳ ඉදිරි බලාපොරොත්තු අත්හැරීම දක්වා තල්ලුකිරීමක්ද වනු ඇත.”
යනුවෙන් හිටපු ඉන්දීය නායක සුනිල් ගවස්කාර් සත්කාරක ස්ටාර් ස්පෝර්ට්ස් නාලිකාව වෙත පැවසීය.
මේ අතර අයිපීඑල් තරගාවලියට කෝඩුකාරයින් වන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ‍සමත්වීමත් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පැමිණීමත් කැපී පෙනේ. ඒ අනුව ගුජරාට් කණ්ඩායම ප්‍රසාද ලකුණ 12ක් ලබා (තරග 7, ජය 6 පරාජ 1යි) මේ වන විට පළමු ස්ථානය ලබා සිටින විට සන්රයිසර්ස් හයිද්‍රාභාද් (තරග 7, ජය 5, පරාජ 2යි) ලකුණු 10ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි. තවද කුමාර් සංගක්කාර අධ්‍යක්ෂ ධූරය දරණ රාජසාථාන් රෝයල්ස් පිල ප්‍රසාද ලකුණු 10ක් (තරග 7, ජය 5, පරාජ 2) ලබා ගෙන තුන්වැනි ස්ථානයට පත්ව ඇත.