මියන්මාරයේ පාලනය හමුදාව යටතට

මියන්මාරයේ පාලනය තමන් යටතට ගත් බව එරට හමුදාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. එරට රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හමුදාව මේ පිළිබඳ දන්වා තිබේ.
මියන්මාරයේ පාලනය සියතට ගැනීමට පෙර එරට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ එනම් එන්එල්ඩී පක්ෂයේ නායිකා අවුන්සාන් සුකී එරට හමුදාව විසින් යළි අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇයට අමතරව පක්ෂයේ නියෝජනය කරන ජේයෂ්ඨ දේශපාලඥයින් පිරිසක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් දා පැවති මැතිවරණයෙන් අවුන්සාන් සුකී නායකත්වය ධරන මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් හිමි විය. එහෙත් මැතිවරණය වංචනික බව පවසමින් අද දිනයේ සිදු කිරිමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව යළි කැඳවීමද කල් දමන ලෙසටද එරට හමුදාව දිගින් දිගටම අවුන්සාන් සුකීගේ පක්ෂයට ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
සුකීට මීට පෙර 1989 වසරේ සිට 2010 දක්වා වසර 15ක කාලයක් නිවාස අඩස්සියේ සිටීමට සිදුු වූ අතර මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි ලෙස හඬ නැගූ ඇය මියන්මාර හමුදා පාලනයට එරෙහිව දිගින් දිගටම අදහස් දැක්වූ ප්‍රධාන චරිතයකි. 1991 වර්ෂයේදී ඇයට නොබෙල් සාම ත්‍යාගය හිමිවූ අතර පසුව 2015 වසරේ නොවැම්බර් මස පැවති මැතිවරණයෙන් අවුන්සාන් සුකිගේ පක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළාය.