නව දැල්පන්දු පුහුණුකාරිණිය සොමිතා අල්විස්

ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ නව පුහුණුකාරිය ලෙස සොමිතා අල්විස් මහත්මිය පත් කර තිබේ. ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිට ලෙස කටයුතු කළ තිලකා ජිනදාස මහත්මිය පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඒ අනුව දැල්පන්දු නව පුහුණුකාරිය ලෙස සොමිතා අල්විස් මහත්මිය පත් කිරීමට පියවර ගත් බව දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී ලක්ෂමී වික්ටෝරියා මහත්මිය ප්‍රකාශ කළාය.
51 හැවිරිදි සොමිතා අල්විස් මහත්මිය මීට පෙර 2010 වසරේදී කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස කටයුතු කළ අතර 2013 වසරේ ජාතික කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස කටයුතු කළාය. අනතුරුව එච්එන්බී කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස කටයුතු කළ ඇය එහිදී පිට පිටම වසර 12ක් ජතික ශූරතාව සිය කණ්ඩායමට දිනා දීමට සමත් වූවාය. අවසන් වරට නාවික හමුදා කණ්ඩායමේ පුහුණුකාරිය ලෙසින් කටයුතු කළ සොමිතා අල්විස් මහත්මිය 2016 සහ 2017 වසරේදී ජාතික ශූරතාව නාවික හමුදා කණ්ඩායමට දිනා දීමට ඇප කැප වූවාය.
සොමිතා අල්විස් කැපී පෙනෙන දැල්පන්දු පුහුණුකාරියක් ලෙස සැලකෙන අතර ඇය 1995 (එංගලන්තය), 1999 (නවසීලන්තය) සහ 2003 (ජැමෙයිකාව) යන ලෝක කුසලාන තුනකට ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. මීට අමතරව 2003 ජැමෙයිකාවේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී ඇය ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නාය. ඇය මීට පෙර 1998 සහ 1999 දී උප නායිකාව ලෙස සේවය කර ඇත.