මහින්දානන්දට එරෙහිව පැමිණිල්ලක්

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාවට අදාළ පරික්ෂණ අවසන් වීමත් සමගම අදාළ චෝදනාව එල්ල කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව වාහාම නීතීය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව සමාජවාදී තරණ සංගමය විසින් අදාළ පැමිණිල්ල ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ.
2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පාවාදීමක් සිදුවී ඇතැයිද එදින ක්‍රීඩ කළ සංචිතය සැක සහිත බවද කියමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා චෝදනාවක් එල්ල කළේය. ඒ අනුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සහ එවක තේරීම් කමිටු සාමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම පසුගියද ආරම්භ කෙරිණි. ඒ අනුව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදිකර තිබෙන ක්‍රීඩා සම්බන්ධ වැරදි සෙවීමේ පොලිස් විමර්ශන ඒකකය මගින් 2011 ශ්‍රී ලංකා කණ්ඩායෙම් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වාගෙන්, 2011 ලෝක කුසලනා කණ්ඩායමේ නායකයා වශයෙන් සිටි කුමාර සංගක්කාරගෙන සහ ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කළ උපුල් තරංගගෙන් ප්‍රකාශ ලබා ගැනීම පසුගියදා සිදු කෙරිණි. එහිදී අදාළ ප්‍රකාශ අව්‍යාජ බවත් ඒවා එකින් එකට පරස්පර නොවන බවත් තරගාවලිය අතරතුර සංචිතවය වෙනස්වීමට බලපෑ ප්‍රායෝගික හේතු ඔවුන් විසින් නිවැරදිව ඉදිරිපත් කළ බවත් හේතුකොට ගනිමින් 2011 ලෝක කුසලාන අවසන් මහ තරගය සම්බන්ධයෙන් දියත් කළ පොලිස් විමර්ශන නතර කර දැමීමට ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය කටයුතු කළේය.
කෙසේ වෙතත් අදාළ චෝදනාව සම්බන්ධයෙන් කළ පරීක්ෂණ අවසන් වීමෙන් පසු චෝදනාව එල්ල කළ හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් පැමිණිල්ලක මේ වන විට ඉදිරිපත් වී තිබේ. ඒ අනුව ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් විමර්ශන ඒකකයෙන් මේ පිළිබඳ කළ විමසීමකදී නීතිපති දෙපාර්තමේනතුව හරහා මේ පිළිබඳ ක්‍රියාකරනු ඇතැයි ඔවුන් කියා සිටියහ.