ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති මාරු වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කේ. මතිවානන් මහතා  සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ අනුව වත්මන් ක්‍රිකට් පරිපාලනය විනිවිද භාවකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා දන්වා සිටි අතර මතිවානන් මහතාගේ ඉවත්වීමෙන් අනතුරුව හිස්වූ උපසභාපති ධුරය වෙනුවෙන් ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන උප සභාපතිවරුන් දෙදෙනාගේ මූලික වගකීම් අතර ජාත්‍යන්තර ක්‍රිකට් සහ දේශීය ක්‍රිකට් යන දෙඅංශයම මෙහෙයවීමේ සම්ප්‍රදායක් පැවතියද වර්තමානයේ කිසිදු වගකිව යුතු කටයුත්තක් වෙනුවෙන් තමන්ගේ සේවය ලබා නොගැනීම තුළින් වත්මන් පරිපාලනය තමන් හුදෙකලා කර ඇතැයි මතිවානන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිවේදනයේ සඳහන් කර සිටී. එමෙන්ම විධායක කමිටුව තුළ මෙන්ම කළමනාකරණ කමිටු තුළද විවාදයට තුඩුදෙන ඇතැම් මුල්‍ය ගනුදෙනු සහ සාකච්ඡා වන කරුණු සම්බන්ධයෙන් තමා නගන විරෝධයන් හා අදහස් දැක්වීම් වත්මන් පරිපාලනය දැඩි සේ නොසලකා හරින බවත් ඒ මහතා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටී. ඒ අනුව මෙම ක්‍රියාවලිය තුළින් අනාගතයේදී තමා ක්‍රීඩාවෙන් උපයාගත් කීර්තිනාමයට හානිකර ගැනීමට තමන් සූදානම් නොමැති බවත් මේ හේතුවෙන් අදාළ තීරණය ගත් බවත් මතිවානන් මහතාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.