තිලාන් සමරවීරට යළිත් නවසීලන්තයෙන් ලංසුවක්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර යලිත් පත් කර තිබේ. ඒ බංග්ලාදේශයේදී සහ පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත සංචාර සඳහා තාවකාලික පත් කිරීමක් ලෙසය.

ඒ අනුව නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ වන විස්සයි20 ලෝක කුසලානයට පෙර පාකිස්තානය සමඟ තරග 03කින් සමන්විත එක්දින තරගාවලියට සහ බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20 තරග 05කට තිලාන් සමරවීරගේ විශේෂඥ උපදෙස් ලබා ගැනීමට නියමිතය.

2019 ලෝක කුසලානය දක්වා වසර 02කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස සමරවීර කටයුතු කළ අතර, ඔහු 2019 නවසීලන්ත සංචාරයේදී පිතිකරණ පුහුණුකරුවෙකු ලෙස නවසීලන්ත කණ්ඩායම සමගින් එක්විය. මීට අමතරව ඔහු කලක් බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙසද කටයුතු කළේය.

තිලාන් සමරවීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 81කදී ලකුණු 5462ක්ද (ශතක 14, අර්ධ ශතක 30) එක්දින තරග 53කදී ලකුණු 862ක්ද (ශතක 02) රැස් කරගෙන සිටියේය.

ඡායාරූපය- ‘ද පපරේ’