ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඉතාලියට මංගල ජය ලබාදෙයි

ඉතාලි ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සියලුම ක්‍රීඩිකාවන් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් ලෙස ඉතිහාසයට එක්වී තිබේ. එහිදී ඉතාලි ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රියාව පරදා කඩුලු 08කින් ජයගැනීමට සමත්විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 05කින් යුත් විස්සයි20 තරගාවලිය මේ වන විට තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනුයේ ඉතාලියයි.

එම තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වනුයේ කුමුදු පෙඩ්‍රික් (නායිකා), ඩිලේෂා නානායක්කාර, ෂැරෝන් විතානගේ, ඩිෂානි සමරවික්‍රම, ටෙෂානි අරලියා, ගයාත්‍රි බටගොඩ, දයානා සමරසිංහ, නිරෝෂණී ඩිමින්ගුවරිගේ, රෂිනි අත්තිඩි, සෙව්මිණි කනංකගේ, සඳලි මල්වත්තයි. මීට අමතරව එම සංචිතයේ නිපුනි පොන්නන්පෙරුමගේ, සාරා සබෙලි, ෆ්‍රැන්සිස්කා වැකරැල්ලා යන ක්‍රීඩිකාවෝද වෙති.

සීමිත රටවල් සංඛ්‍යාවක හැරෙන්නට තවමත් ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය වී නොමැති නිසා, විශේෂයෙන් යුරෝපයේ සහ උතුරු සහ දකුණු ඇමෙරිකානු රටවල සිටින ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතාව ඇති ආසියානු ජාතිකයන්ට ඒ ඒ රටවල ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවී තිබේ.

ඒ අනුව ඉන්දියානුවන් ලොව රටවල් රැසක කාන්තා හා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරන අතර පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය වැනි රටවලින් වෙනත් රටවලට සංක්‍රමණය වී ක්‍රිකට් ක්‍රීඩා කරීමින් පවතී.

කෙසේ නමුත් යම් රටක සමස්ත ජාතික කණ්ඩායමම නියෝජනය කිරීම සඳහා මෙලෙස වෙනත් රටක ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් පිරිසකට හිමිව තිබුණේ පළමු වරටයි.

ඉතාලි කණ්ඩායමේ නායිකාව වන කුමුදු පෙඩ්‍රික් මේ වනවිට 38 හැවිරිදි වියෙහි පසුවන අතර, වයස අවුරුදු 40 ඉක්මවූ ක්‍රීඩිකාවන් තිදෙනෙකුම (ෂැරෝන් විතානගේ අවුරුදු 40, ගයාත්‍රි බටගොඩ අවුරුදු 40) මෙම කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයකි. ඉන් වයස්ගතම ක්‍රීඩිකාව වන ඩිෂානි සමරවික්‍රමගේ වයස අවුරුදු 46කි. ඇය විස්සයි20 ජාත්‍යන්තර තරග වරම් හිමිකර ගත් වයස්ගතම ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ 06 වැනි ස්ථානයට පත්ව සිටින්නීය. ඉතාලි කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩිකාව සෙව්මිනී කනංකගේ 15 හැවිරිදි වියේ පසුවන අතර සඳලි මල්වත්ත ක්‍රීඩිකාව 16 හැවිරිදි වියෙහි පසුවන්නීය.

මෙම තරගයේදී ඔස්ට්‍රියා කණ්ඩායම නියෝජනය කරමින්ද ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක ජාත්‍යන්තර විස්සයි20 වරම් හිමිකර ගැනීමද සුවිශේෂිය. ඇය නමින් මල්ලිකා පුෂ්පංගනී මහාදේව පතිරැන්නැහැලාගේය. ඇයටද වයස අවුරුදු 40කි.

රෝමයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රියාව නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 03ක් දැවී ලකුණු 107ක් රැස් කිරීමට සමත්විය. එහිදී

ඇන්ඩ්රියා-මේ සෙපෙඩා පන්දු 60කදී ලකුණු 33ක්ද බුස්රා උකා පන්දු 26කදී ලකුණු 15ක්ද ලබාගැනීමට සමත්විය. ඔස්ට්‍රියා ඉනිමේ වැඩිම ලකුණු ලෙස අතිරේක ලකුණු 37ක් (වයිඩ් 23ක්, නිපන්දු 09ක්, අතිරේක 03ක් සහ පාදයේ වැදී ගිය 02ක්) වාර්තා වීම කැපීපෙනුණි. ඉතාලිය වෙනුවෙන් පන්දු යැවීමේදී නායිකා කුමුදු පෙඩ්‍රික් 1/21ක්, ඩිෂානි සමරවික්‍රම 1/14ක් සහ සෙව්මිණි කනංකගේ 1/20ක් යනාදී වශයෙන් කඩුලු බිඳ දැමූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉතාලිය පන්දුවාර 16.1ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත්වූයේ කඩුලු 02ක් පමණක් දැවී සිටියදීය.

එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුමුදු පෙඩ්‍රික් නොදැවී ලකුණු 47ක් ලබාගත් අතර, ටෙෂානි අරලියා නොදැවී ලකුණු 20ක් රැස් කරගත්තාය. ඔස්ට්‍රියාව වෙනුවෙන් වැලන්ටිනා අව්ඩිලාජ් ලකුණු 09කට කඩුලු 02ක් බිඳ දැමුවාය.

ඉතාලිය සහ ඔස්ට්‍රියාව සහභාගී වන දෙවැනි විස්සයි20 තරගය අද (10දා) පැවැත්වෙන අතර, තෙවැනි විස්සයි20 තරගය හෙට (11දා) පැවැත්වීමට නියමිතය.