7 වැනි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය දුලිප් මෙණ්ඩිස්ගේ ඕමාන් කණ්ඩායමට.

 

7 වැනි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඕමානයේ අල් අමරත්
හි ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේදී අද (17දා) සවස පැවැති ඕමානය සහ පැපුවා නිව්ගිනියා
කණ්ඩායම් අතර තරගයෙන් සත්කාරක ඕමාන් කණ්ඩායමට කඩුලු 10ක ජයක් හිමිවිය.

මෙවර තරගාවලියේ පළමු වටයට අදාළව “බී“ කාණ්ඩයේ පළමු තරගය ලෙස පැවැති මෙම
තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඕමාන් කණ්ඩායමේ නායක සීෂාන් මැක්සූඩ් පළමුව
පන්දුවට පහරදීමට පැපුවා නිව්ගිනි කණ්ඩායමට ආරාධන කළ අතර පන්දුවාර 20 අවසානයේදී
ඔවුනට ලබාගත හැකි වූයේ කඩුලු 9කට ලකුණු 129ක් පමණි. ඊට පිළිතුරු දුන් ඕමාන්
කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 4කදී කිසිදු කඩුල්ලක් ප්‍රතිවාදීන්ට ලබා නොදී ජයග්‍රාහී
ඉලක්කය පසුකළ අතර ජතීන්දර් සිං සහ අකිබ් ඉල්යාස් නොදැවී අර්ධ ශතක රැස් කළහ.

ඔමාන් කණ්ඩායමේ ආරම්භක වේගපන්දු යවන්නන් වූ බිලාල් ඛාන් හා කලීමුල්ලා හමුවේ
පැපුවා නිව්ගිනි ආරම්භක පිතිකරුවන් වන ටෝනි උරා සහ ලෙගා සියාකා දෙදෙනාම නැවත
ක්‍රීඩාගාරයට හැරී යනවිට ලකුණු පුවරුව බිංදවක් ලෙස සටහන් විය. ඉන් පසු නායක අසාද්
වාලා සහ චාල්ස් අමිණි දෙදෙනා එක්වී 2වැනි පන්දුවාරයේ සිට 12වැනි පන්දුවාරයේ 3වැනි
පන්දුව දක්වා 3වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක සබඳතාවක් ගොඩ නැඟුවද අමිනි දුවද්දී
දැවී යාමත් සමඟ ඔවුන්ගේ ඉනිමේ කඩාවැටීම ඇරැඹුනි.

15වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදීම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ
ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමිකරගත් නායක අසාද් වාලා (ලකුණු 56) කාලීමුල්ලාගේ
පන්දුවක් ඉදිරියේ දැවීයාමෙන් පසුව පැපුවා නිව්ගිනි ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 102ක්
සේ සටහන්විය. එහෙත් ඔවුන්ගේ ඉතිරි කඩුලු 5ම ලකුණු 27ක් තුළ දවාගැනීමට ඔමාන්
නායක මැක්සූඩ්ගේ දක්ෂ පන්දුයැවීම ඉවහල් විය. මක්සූඩ් 16 වැනි ඕවරයේදී කඩුලු 3 ක් දවා
ගනිමින් පැපුවා නිව්ගිනි ඉනිම කඩා බිඳ දැමූ අතර මැක්සූඩ්ගේ පන්දුවාර 4 අවසන් කළේ
ලකුණු 20ට කඩුලු 4ක් ලෙසය.

ඕමාන ජයග්‍රහණය වේගවත් කළ ජටින්ඩර් ප්‍රතිවාදී පන්දු යවන්නන්ට එරෙහිව පන්දු 42 කදී
නොදැවී ලකුණු 73 ක් රැස් කළඅතර ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් කළේය.
අනෙක් ආරම්භක පිත්කරු අකීබ් ඉල්යාස්ද පන්දු 43 කින් නොදැවී ලකුණු 50 ක් වාර්තා කළ
අතර ඒ අනුව ශ්‍රී ලාංකික දුලිප් මෙණ්ඩිස් ප්‍රධාන පුහුණුකාරිත්වය දරණ ඕමාන් කණ්ඩායම
7වැනි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කළ ණ්ඩායම
බවට පත්විය.

ඕමානය කඩුලු 10 කට ලකුණු 131 (ඉල්යාස් 50*, ජතින්දර් 73*) පැපුවා නිව්ගිනි කණ්ඩායම
කඩුලු 9ක් දැවී ලකුණු 129 යි. (වාලා 56, අමිනි 37, බිලාල් 2-16, කාලිමුල්ලා 2-19, මක්සූද් 4-
20)

– සිරිනාම.