අද සිට පැය එක හමාරක් විදුලිය නැති හැඩයි

ඊයේ රාත්‍රියේ සිට අක්‍රිය වී ඇති කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඉන්ධන තොගය සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නොහැකි වීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය දැඩි අර්බුදයකට ඇද වැටී ඇතැයි පැවැසේ. ඒ අනුව ඩීසල් තොගවල හිඟයක් ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස අද (19දා) සිට පැය එක හමාරක කාලයක් විදුලිය විසන්ධි විය හැකි බවද එකී වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
කැලණිතිස්ස බලාගාරයෙන් දෛනිකව මෙගාවොට් 300ක විදුලිය නිපදවන නමුත් ඩීසල් තොග නොමැතිකම හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට බලාගාරය අක්‍රිය වී ඇති බවද වාර්තා වේ.
විදේශ විනිමය අර්බුදයෙන් ඇති වූ ඉන්ධන හිඟය හේතුවෙන් බලාගාරයට ඩීසල් තොග සැපයිය හැක්කේ කවදාද යන්න පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඊයේ රාත්‍රිය වන තුරුම කිසිදු දිනයක් සඳහන් කර නොමැති බවත් ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. එබැවින් අද සිට දිනපතා දිවා කාලයේ පැයක විදුලි කප්පාදුවක් සහ රාත්‍රී විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවද පැවැසේ.
තවද, ඊයේ පස්වරුවේ සිට සපුගස්කන්ද බලාගාරයේ අඩක් ද දැවි තෙල් සැපයුම නොමැතිකම හේතුවෙන් වසා දැමීමට සිදු වූ නමුත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ දැවි තෙල් මෙට්‍රික් ටොන් 900 ක් හදිසියේ සැපයීම හේතුවෙන් බලාගාරයෙන් අඩක් පමණක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවද සඳහන්ය.