ලෝකයේ ‘ඇ‘ ශබ්දය නගන්න පුළුවන් එකම භාෂාව අපේ – අමාත්‍ය විමල් වීරවංශ

”අපේ භාෂාව ලෝකයේ ‘ඇ‘ ශබ්දය නගන්න පුළුවන් එකම භාෂාව. ඉංග්‍රීසි භාෂාවෙන් ‘ඇ‘ ශබ්දය නගන්න අක්ෂරයක් හෝ වෙනත් සංකේතයක් නැහැ. ලෝකයේ බොහෝ භාෂාවන්ට අක්ෂර මාලාවක් නැහැ. ප්‍රංශ, ජර්මන්, ඉතාලි, ස්පාඤ්ඤ ඇතුළු බොහෝ භාෂාවලට ඇත්තේ ඉංග්‍රීසි අක්ෂර මාලාවයි. නමුත් අපි මේ පුංචි රටේ වෙනම අක්ෂර මාලාවක් සමග වෙනම භාෂාවකුත් හදාගත්තා.” යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ රත්මලාන ශ්‍රී ධර්මාරාම විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

”මට මෙහිදී සිහිපත් වෙනවා ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ මහත්මිය පැවසූ කතාවක්. ඇය බි්‍රතාන්‍යයේ පැවති ජාත්‍යන්තර සිනමා උළෙලකට ගියාම එහිදී කටහඬ පිළිබඳ වැඩමුළුවකට සහභාගි වීමට ලැබී තිබෙනවා. එම වැඩමුළුව මෙහෙයවූ බි්‍රතාන්‍ය මහාචාර්යවරයා එක්තරා අක්ෂර මාලාවක් පෙන්වා විමසා තිබෙනවා ‘මේ අක්ෂර මාලාව කුමන භාෂාවේ ද?‘ කියා. එවිට අනෝජා වීරසිංහ මහත්මිය ඉතා උද්යෝගයෙන් පිළිතුරු දී තිබෙනවා ‘මේ සිංහල භාෂාවේ අක්ෂර මාලාව. මම ආවේ ඒ රටින්‘ කියා. එවිට එම මහාචාර්යවරයා කිව්වාලු ‘ඔබ හරි වාසනාවන්තයි. මේ අක්ෂර මාලාව හසුරුවන්න පුළුවන් කෙනාට ලෝකෙ ඕනෑම භාෂාවක්, හඬක් හසුරුවන්න පුළුවන් කියා.”

”ඒ නිසා මානව සම්පත් තමයි අපට තිබෙන වටිනාම සම්පත. ඒ මානව සම්පතේ කොටසක් තමයි අපේ දරුවෝ. අපේ දරුවන්ට තමයි අපේ පරම්පරාවලට ජය ගැනීමට නොහැකි වූ අභියෝගයන් ජයගැනීමට හැකියාව තිබෙන්නේ. අද ලෝකයේ ඉහළතම විද්‍යාඥයන් අතර අපේ රටවැසියන් ඉන්නේ මේ මානව සම්පතේ තිබෙන හැකියාවේ තරම කොතරම්ද, කියා පෙන්වමින්. මේ සිටින සියලුම දරුවන්ට, රට හමුවේ වන අනාගත අභියෝග ජයගත හැකි පිරිසක් බවට පත්වීමට, හැකියාව ලැබේවා‘යි පතනවා.”