කයිට්ස් අධිකරණයෙන් නිදහස් කළ ඉන්දීය ධීවරයන් 44 කට කොරෝනා

යාපනයේ කයිට්ස් අධිකරණයෙන් නිදහස් කොට ආපසු ඉන්දියාවට යවන ලෙස නියෝග කළ ඉන්දීය ධීවරයින් 56 දෙනාගෙන් 44 දෙනකුම කොරෝනා ආසාදිතයන් වීම නිසා ඔවුන්ව ඉන්දියාවට යැවීම තවත් මාසයකින් දීර්ඝ කිරීමට යාපනයේ සෞඛ්‍ය බලධාරීන් තීරණය කොට තිබේ.

ඩෙල්ෆ්ට් මුහුදු තීරයට අනවසරයෙන් පැමිණ මසුන් මරමින් සිටියදී මේ ඉන්දීය ධීවරයින් 56 දෙනා පසුගිය දෙසැම්බර් මස 19 දා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් සමග සිටි වයස අවුරුදු 14 ක කුඩා දරුවකු නඩුවලින් නිදහස් කිරීම සඳහා කයිට්ස් අධිකරණයෙන් ධීවර නිලධාරීන් විසින් පූර්ව අවසරයක් ලබා ගෙන තිබුණි.

ඉතිරි ඉන්දීය ධීවරයින් 55 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් වරද පිළිගැනීම නිසා ඔවුන්ව වසර පහක අත්හිටු වූ හිර දඬුවමකට යටත් කොට කයිට්ස් අධිකරණය විසින් නිදහස් කරන ලද්දේ වහාම ඒ පිරිස අපසු ඉන්දියාවට යවන ලෙස නියෝග කරමිනි.

මේ පිරිස ඉන්දියාවට ගුවන් මඟින් යැවීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කළ අවස්ථාවේදී 44 දෙනකුම කොරෝනා ආසාදිතයන් වීම නිසා ඔවුන්ව ඉන්දියාවට යැවීම තවත් මාසයක කාලයකට කල් දැමීමට යාපනයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ