පුතාගේ ගඩොල් පහරින් පියා එළොව යයි

ගඩොල් පෝරණුවක් අසල ගඩොල් ගොඩක් මතට වැටී තුවාල සිදුවී ඇති බව පවසමින් රෝහල් ගතකොට මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය 48 හැවිරිදි එක්දරු පියාගේ මරණය ඝාතනයක් බවට හෙළි වී ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.

වැල්ලවාය පොලිස් වසමේ හඳපානාගල, උල්කන්ද, බොරළුකන්ද ප‍්‍රදේශයේ පදිංචි ආර්.එම්. ජයසුන්දර (48) නමැති අය ඉකුත් 30 වැනිදා ගඩොල් පෝරණුවක් අසල වැටී සිටිය දී අසල්වාසීන් සහ ඔහුගේ පුතා විසින් තුවාලකරු හඳපානාගල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

පසුව වැල්ලවාය මූලික රෝහලට මාරුකොට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලට යොමුකිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කළ වැල්ලවාය පොලිසිය මියගිය අයගේ 16 හැවිරිදි පුතාගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු විසින් සිය පියාගේ හිසට ගඩොල් භාගයකින් පහරදුන් බවට පිළිගෙන ඇත.

මියගිය අය ඉකුත් 30 වැනිදා වත්තේ වගාකර තිබූ උඳු ගැලවීමට ගොස් ඇත.

එසේ ගොස් ඇත්තේ පුතාටත් උඳු ගැලවීමට පැමිණෙන ලෙස දන්වමිනි. නමුත් පුතා ගොස් නැත.

ටික වේලාවකින් නිවසට පැමිණ පියා උඳු ගැලවීමට නොපැමිණීම සම්බන්ධයෙන් පුතාට බැණ වැදී අතේ තිබූ පිහියෙන් පුතාට කොටා ඇත. ඉන් ඔහුගේ වම් අතේ ඇඟිලි දෙකකට තුවාල සිදුවී තිබේ.

පසුව පුතා අසල ගඩොල් පෝරණුවක තිබූ ගඩොල් කැටයකින් පියාගේ හිසට පහරදී ඇති බව පුතා පොලිසියට කළ පාපොච්චාරණයේ සඳහන් වේ.

පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.

වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී.එම්. රත්නායක මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක