පාකිස්තාන-එංගලන්ත විස්සයි විස්ස තරගාවලිය සම වෙයි

සත්කාරක එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි විස්ය ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සම කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. ඒ දෙරට අතර පැවැති තෙවැනි අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 5කින් ජය ගැනීමට සමත්වීමත් සමගය.
මැන්චෙස්ටර් ක්‍රීඩාංගණයේදී පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පිති ප්‍රහාරය දියත් කළ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 08ක් දැවී ලකුණු 190ක ජයග්‍රාහී ඉලක්කයක් සත්කාරක කණ්ඩායමට ලබා දුන්නේය. එහිදී පාකිස්තානය වෙනුවෙන් වැඩිම දායකත්වයක් සැපයූ මොහොමඞ් හෆීස් පන්දු 52කදී ලකුණු 86ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය. හේඩර් අලී පන්දු 33කින් ලකුණු 54ක් වාර්තා කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගිනි.
ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය එංගලන්තයට අවසන් පන්දු 12 තුළ ජයග්‍රහණය සඳහා ලකුණු 18ක් පමණක් ලබාගත් යුතුව තිබූ අතර ඒ සඳහා කඩුලු 4ක් ඔවුන් අතැතිව තිබිණි. තරගයේ 18 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ වහබ් රියාස් එම පන්දුවාරයේදී මෝයින් අලී සහ ක්‍රිස් ජෝදන් දවා ගනිමින් එංගලන්තයේ ජයග්‍රාහී බලාපොරොත්තුව වනසා දැම්මේය. මෝයින් අලී පන්දු 33කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 61ක් වාර්තා කලේය.
දෙරට අතර පැවැති විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා සිදු වූ අතර දෙවැනි තරගය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.