පකිස්තානයේ අන්තවාදීහු ගල් ගසා බිල්ලක් ගනිති

පාකිස්තානයේ ආගමික අන්තවාදය යළි හිස ඔසවමින් තිබේ. පසුගිය වසරේ දෙසැම්බරයේ ලොවම කම්පාවට පත් කරමින් පාකිස්තානයේ සියල්කොට් නුවරදී ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කර පුලුස්සා දැමූ ආගමික අන්තවාදීන් මාස දෙකක් ගතවීමට පෙර තවත් ඝාතනයක් සිදු කර ඇත. ආගමික අන්තවාදීන් අතින් මෙවර ඝාතනයට ලක් වූයේ මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකි. මේ පුද්ගලයා ඉස්ලාම් ආගමේ කුරානයක් පුලුස්සා දැමුවේ යැයි කියමින් ගල් ගසා ඝාතනය කිරීමට කටයුතු කර ඇත්තේ පාකිස්තානයේ ගෝත්‍රිකවාදී ආගමික අන්තවාදය තව දුරටත් පිළිබිඹු කරමිනි.

නැගෙනහිර පාකිස්තානයේ කනේවාලා නමැති ගම්මානයකදී මේ ම්ලේච්ඡ ඝාතනය සිදුවී ඇති අතර, ඝාතනයට ලක් වී ඇත්තේ මුෂ්ටාක් අහමඩ් නමැති 41 හැවිරිදි පුද්ගලයෙකි. මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිටදී ගල් ගසා ඝාතනය කර පසුව අසල තිබූ ගසක එල්ලා දැමූ මේ පුද්ගලයාගේ සිරුර පොලිස් නිලධාරීන් විසින් රැගෙන යනු ලැබූ බව වාර්තා වේ. වසර 15ක කාලයක් පුරා මානසික ආබාධයකට ලක්ව සිටි මුෂ්ටාක් ඔහුගේ අවසන් දින කිහිපයේදී නිවෙසින් අතුරුදන්ව සිට ඇත. ඔහු මුස්ලිම් දේවස්ථානයක් තුළදී කුරානයක් පුලුස්සා දමමින් සිටිනු පළමුව දැක ඇත්තේ එම දේවස්ථානයේ භාරකරු විසිනි. එම පුද්ගලයා තවත් කුරානයක් පිලිස්සීමට උත්සාහ කරමින් සිටි බවත්, ඒ මොහොතේ ඔහු ඉන් වැළැක්වීමට ගම්වාසීන් කැඳවා සහාය ලබාගත් බවත් දේවස්ථානයේ භාරකරු පසුව ප්‍රකාශ කර තිබේ. මේ පිළිබඳ දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුදින අන්තවාදීන් පිරිසක් පැමිණ ඔහු පොලිස් භාරයෙන් පැහැරගෙන ගොස් එසේ ඝාතනය කර ඇත.

ආගමික අන්තවාදයේ තෝතැන්නක් බවට පත් වී ඇති පාකිස්තානයේ මෑත කාලයේ සිදු වූ දෙවැනි ඝාතනය මෙය වේ. ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් පසුගිය දෙසැම්බරයේදී සියල්කොට් නුවර මහා මාර්ගයේ පහරදී ඝාතනය කර පසුව පුලුස්සා දැමූ ප්‍රියන්ත කුමාරගේ සිදුවීමේ නඩු විභාගය තවම අවසන් වී නැත. දැඩි මතධාරී ඉස්ලාමීය රටක් බවට පත් වී ඇති පාකිස්තානයේ ආගමට අපහාස කිරීම බරපතළ අපරාධයක් වන අතර, ඊට දඬුවම් දීම සිදුවන්නේ අධිකරණ ක්‍රියාවලියකට අනුවය. එහෙත් නීතිය අතට ගත් ආගමික උන්මත්තකයෝ නීතියට පටහැණිව කටයුතු කරමින් මෙවැනි ම්ලේච්ඡ ඝාතන සිදු කිරීමට පෙළඹී සිටිති.

පවතින නීතියට පිටින් ගොස් මෙවැනි ඝාතන සිදු කිරීමට තරම් සාහසික ආගමික අන්තවාදීන්ට පාකිස්තානය නිජබිමක් බවට පත් වී ඇත්තේ එරට ආගමික දේශපාලන පක්ෂවල සහාය ලැබීම හේතුවෙනි. වත්මන් අගමැති ඉම්රාන් ඛාන්ට පාකිස්තානයේ බලය අත් කර ගැනීමට මෙවැනි ආගමික දේශපාලන පක්ෂ රැසක දායකත්වය ලැබී තිබිණි.

ඝාතනයට සැක පිට එම දේවස්ථානය අවට පදිංචිව සිටි පුද්ගලයන් 80ක් පමණ අත්අඩංගුවට ගනු ලැබුවද, මේ අමානුෂික ඝාතනය සඳහා පුද්ගලයන් තුන්සියයකට අධික පිරිසක් පැමිණි බව ඇසින් දුටු සාක්ෂි පවසන බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.

ඝාතනය පිළිබඳ ඉම්රාන් ඛාන් සිය කනස්සල්ල ප්‍රකාශ කර ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයකු ආගමික අන්තවාදීන් විසින් පැහැරගනු ලැබීමේදී පොලිසිය කටයුතු කළ ආකාරය ගැන පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැතිගෙන් වාර්තාවක්ද ඉල්ලා ඇත. එහෙත් ප්‍රකාශ නිකුත් කිරීම වෙනුවට එවැනි ම්ලේච්ඡ ඝාතන වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීමට ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය අසමත් වී ඇතැයි ද චෝදනා එල්ල වී තිබේ.

ගෝත්‍රිකවාදී ගති ලක්ෂණ පෙන්නුම් කරන ආගමික අන්තවාදීන් පාකිස්තානයේ මෙවැනි ම්ලේච්ඡ ඝාතන සිදු කිරීම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි එරට සහ අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන රැසක් නිවේදන නිකුත් කර ඇත. එමගින් සුළුතර ජාතීන්ගේ ආගමික නිදහස සීමා කිරීමටත්, ඔවුන් අතර භීෂණය වැපිරීමටත් කටයුතු කරමින් සිටින බවට තවත් චෝදනාවකි.

මානසික රෝගියකු ගල් ගසා මරා දැමීමේ ම්ලේච්ඡ ක්‍රියාව සාධාරණීයකරණය කළ හැකිදැයි එම සංවිධාන ප්‍රශ්න කරමින් සිටින අතර, සැබෑ ඉස්ලාමය මෙය නොවන බවට ද අවධාරණය කර තිබේ. මේ පිළිබඳ ඝාතකයන්ට මෙන්ම ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අසමත් වූ පොලීසියට එරෙහිවත් පන්ජාබ් රජය වහාම පියවර ගත යුතුව ඇතැයි ද එම සංවිධාන ඉල්ලා සිටී.

ඉස්ලාමයට අපහාස කළ බවට චෝදනා කරමින් පන්ජාබ් ප්‍රාන්තයේම තවත් පළාතක එවැනි සිදුවීමක් අවසන් මොහොතේ වැළකී ගියේ ආගමික අන්තවාදය නිමා කිරීමට සංවිධාන රැසක් ඉම්රාන්ගේ රජයට බල කරමින් සිටින අවස්ථාවකදීය.

එය සිදු වූයේ මානසික ආබාධිත පුද්ගලයාගේ ඝාතනය සිදු වී දිනක් ගත වීමටත් පෙරය. ලාහෝර් නුවරට කිලෝමීටර් 180 ක පමණ දුරකින් පිහිටි ෆයිසලාබාද් දිස්ත්‍රික්කයේ ටන්ඩ්ලියන්වාලා ග්‍රාමීය ප්‍රදේශයේ ෂියා මුස්ලිම් ජාතික විද්වතකු කුරානයේ පිටු කිහිපයක් පුලුස්සා දැමුවේ යැයි කියමින් ඔහුගේ නිවෙස වටලා ප්‍රහාරයක් එල්ල වූ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය. ආගමික උන්මාදයෙන් පෙළෙන පිරිසක් පැමිණ ඔහුගේ නිවෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, පසුව පොලීසිය පැමිණ ඔහු සහ පවුලේ සාමාජිකයන් මුදා ගත් බවත් පාකිස්තාන මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය.