පතිරගේ පවුල යතුරුපැදියෙන් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයටත් රැගෙන යයි.

මෙරට මෙන්ම විදෙස් යතුරු පැදි ධාවන තරගාවලියන් හිදී පවා පතිරගේ පවුල (නිකිල
පතිරගේ-වැඩිමහල් පුත්, විනුල පතිරගේ-බාල පුත්, මංගල පතිරගේ-පියා) ඉහළ දස්කම් දක්වා
ඇති අතර ඔවුන් එන්ජින් ධාරිතාව 150 සීසී සහ 250 සීසී යන රේඩ් රේසිං ටා මැක් (Road
racing Tarmac) ධාවන ඉසව් වල බොහෝ අවස්ථාවල ප්‍රථම, දෙවැනි හා තුන්වැනි ස්ථාන
නොකඩවා වසර 5කට අධික කාලයක සිට දිනා ගැනීමට සමත් වීම කැපී පෙනෙන සිදුවීමකි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී සිසුවකුද වන 52වැනි වියෙහි පසුවන මංගල පතිරගේ දැනට
මෙරට යතුරුපැදි ධාවන ‍ක්ෂේත්‍රෙයේ සිටින ජ්‍යෙෂ්ඨතම ධාවකයා ලෙස හැඳින්වෙයි. 1987දී
යතුරු පැදි ධාවන තරග බිමට පිවිසි මංගල වර්තමානයේදීද Sports touring event (naked
bikes- 600සීසී හා 1000 සීසී ට ඉහළ) අංශයේ ශූරයා ලෙස නම දරා සිටියි. මෙලෙස මව්බිමට
විශාල ගෞරවයක් අත්කර දීමට සමත් පතිරගේ පවුලේ සාමාජිකයින් වන නිකිල ( වයස 22)
සහ විනුල (වයස 19) පුතුන් දෙදෙනා පියාගේ අඩිපාරේ යමින් යතුරු පැදි ධාවනයට පිවිස
ඇත්තේ ඔවුන්ගේ වයස් අවු. 10 හා 12 යන අවධියේදීය.

හිල් ක්ලයිම්බ් තරගාවලියේදීද සිය ඉසව්වේ වසර ගණනාවක් පුරා 1වැනි 2වැනි සහ 3වැනි
ස්ථාන දිනාගනිමින් ශ්‍රී ලංකාවේ නොමැකෙන වාර්තාවක් තැබීමට මෙම පියා සහ පුතුන් යුගළය
සමත්ව ඇත්තේ මෙරට තුළ සංවිධානය කරන තවත් යතුරු පැදි ධාවන රැසක පතිරගේ නාමය
කිසිවෙකුටත් අමතක නොවන මතකයන් සටහන් කරමිනි.

2015 වසරේ සිට ආසියානු කුසලාන යතුරුපැදි ධාවන තරගාවලියන්ට ශ්‍රී ලංකාව නියෝජනය
කරන නිකිල සහ විනුල සහෝදරයින් දෙදෙනා ලැබූ සුවිශේෂී ජයග්‍රහණයන් ලෙස ආසියානු
ශූරතා කුසලාන යතුරුපැදි ධාවන තරගාවලියේ 3වැනි ස්ථානය දිනා ගැනීමට සමත්වීම
සැළැකේ. ආසියානු කලාපය නියෝජනය කරමින් රටවල් 13ක් සහභාගී වන මෙම
තරගාවලියේ 2015 වසරේ සිටම ඔවුන් එහි පළමු තරගකරුවන් 05 දෙනා අතර අතර රැඳී
සිටීමට සමත් වී තිබේ. අවසන් වරට මෙම තරගාවලිය පැවැත්වුණේ 2019 වසරේදීය.

තවද නිකිල සහ විනුල සොහොයුරන් යුගළය 2017 වසරේ අමෙරිකාවේ ටෙක්සාස්හි ඩලාස්
නගරයේ පැවැති ඇමෙරිකා එක්සත් ජනපද විවෘත යතුරුපැදි ධාවන තරගාවලියට ශ්‍රී ලංකාව
නියෝජනය කරමින් සහභාගී වී ලොව 7වැනි ස්ථානය දිනාගනිමින් මෙරටට සුවිශාල
ගෞරවයක් අත්කර දීමට සමත්වී සිටිති.

තවද එකම පවුලේ පිය පුතු තිදෙනෙක් යතුරු පැදි ක්ෂේත්‍රෙය් දස්කම් දක්වන ශ්‍රී ලංකාවේ
මෙන්ම ආසියානු කලාපයේ ප්‍රථම අවස්ථාව මෙයයි. එසේම මෙවන් පවුලක වාර්තාවක් යතුරු
පැදි ක්‍රීඩාවේ සටහන් වන ලොව වෙනත් අවස්ථාවක්ද දැකගැනීමට නොහැකි වීම
විශේෂත්වයකි.

කෙසේ වෙතත් මොවුන්ගේ ජාතික හෝ ජාත්‍යන්තර තරගාවලියන් සඳහා කිසිදු රාජ්‍ය
අනුග්‍රහයක් නොලැබෙන අතර සියලුම වියදම් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් වැයකරනු ලබන
බව සඳහන් කළ යුතුය.

– සිරිනාම