ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර යළිත් පෝල් ෆාබ්‍රේස්ට !

වර්තමානයේදී පුරප්පාඩුවී ඇති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා එංගලන්ත ජාතික පෝල් ෆාබ්‍රේස් වසර දෙකක කාලයක් සඳහා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
හිටපු කඩුලු රකින්නකු මෙන්ම පිතිකරුවකු වන ෆාබ්‍රේස් ලබන මාසයේ අග භාගයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වෙමින් ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි-20 තරඟ තුනකින් යුත් තරඟාවලියක් සඳහා ඉන්දියාවේ සිදුකරන සංචාරයත් සමඟ නව භූමිකාව භාර ගැනීමට නියමිතය.
මිකී ආතර්ගේ අනුප්‍රාප්තිකයා ලෙස මෙම නව පුහුණුකරු පත්කිරීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ පන්දුරුකීමේ පුහුණුකරු යන තනතුරු හැර අනෙකුත් සියලුම පුහුණුකරුවන් ශ්‍රී ලාංකිකයන් වනු ඇත. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන වන කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා සහ මුත්තයියා මුරලිදරන් ගෙන් සැදුම්ලත් ක්‍රිකට් උපදේශක කමිටුවේ මෙම නව සැළැසුමට අනුව පන්දුරැකීමේ පුහුණුකරු තනතුර සඳහා පත්කිරීමට හිටපු නවසීලන්ත ක්‍රීඩකයෙකු සමඟ සාකච්ඡා කරමින් සිටින බව පැවසේ.

ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම්කරුවන් 30කට අධික සංඛ්‍යාවක් ඉල්ලුම් කර සිටි අතර නමුත් ෆාබ්‍රේස් අයදුම් කර නොතිබුණ බවද දැනගන්නට ඇත. කෙසේ වෙතත් එම ඇයදුම් පත් වලින් ලැබුණ ප්‍රතිචාරයෙන් සෑහීමකට පත් නොවූ ක්‍රිකට් උපදේශක කමිටුව වෙනත් පුද්ගලයින් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පෝල් ෆාබ්‍රේස් මහතා පත්කිරීමේ තීරණයට පැමිණ ඇතැයි වැඩිදුරටත් එකී ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් ලබන මස ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත විස්සයි-20 තරඟාවලිය සඳහා ෆාබ්‍රේස් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සහභාගී නොවන අතර එහිදී රුමේෂ් රත්නායක අතුරු පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු කරනු ඇත.
54 වියෙහි පසුවන ෆාබ්‍රේස් එංගලන්තයේ කෙන්ට් සහ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත සඳහා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති අතර 2005 වසරේදී දී ට්‍රෙවර් බේලිස්ගේ සහය පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කළ අයෙකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුව 2014 වසරේ ප්‍රධාන පුහුණුකරු ලෙස ෆ්‍රාබ්‍රේස් පත් කළ අතර ඔහුගේ පළමු රාජකාරිය වූ බංගලාදේශයේ පැවති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව පරදවා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගියේය. කෙසේ වෙතත් ඔහු හදිසියේම ඉවත් වී එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ට්‍රෙවර් බේලිස්ගේ සහකාර පුහුණුකරු ලෙස සම්බන්ධ විය.