කූරගල පුදබිමේ 500 නමකගෙන් පිරිත් සජ්ඣායනයක්

ඓතිහාසික කූරගල පුදබිමේ ඉදිවෙන අසදිස ශාක්‍යසුගත මහ සෑ මලූවේ නිධන් වස්තු තැන්පත් කිරීමට පෙර පන්සියයක් මහා සංඝරත්නය සහභාගී කරවමින් සෙත් පිරිත් දේශනාවක් පැවත්විණි.

අඩි 125 ක් උසැතිව ඉදිකරන කූරගල මහා සෑය ලබන වෙසක් පුර පසළොස්වක පොහොයදා කොත් පැළඳවිමට නියමිතය. ඊට සමගාමීව ජාතික වෙසක් උත්සවයද කූරගල පුදබිමේදී පැවැත්වේ.

සබරගමු පළාතේ ඉදිකෙරෙන විශාලතම චෛත්‍යයද මෙයයි. දිස්ත‍්‍රික් හයකට මෙම මහා සෑය දර්ශනය වන බව කූරගල ගොඩනැංවීම භාර වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පවසති. උන්වහන්සේගේ අනුශාසනා මත මෙම නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය පැවත්විණ.

ඓතිහාසික වටිනාකමක් ඇති කූරගල රජමහා විහාරය මේ වනවිට නැවත බෞද්ධ ජනතාවගේත් මුළුමහත් ලෝකයාගේත් ගෞරවාදරයට පත්වෙමින් පවතින බව කූරගල ඉදිකිරීම් සඳහා නායකත්වය ලබාදෙන වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පැවසූහ.

මෑත කාලයේ ශ‍්‍රී ලංකාවේ සිදු කෙරෙන විශාලතම විහාරාරාමය මෙය බව කූරගල ගොඩනැඟීමේ කමිටුවේ සාමාජික ඉඹුල්පේ විජිතවංස හිමියෝ පැවසූහ.

කහවත්ත – සමරවීර නිරෝෂණ