විරෝධතාකරුවන්ට පොලීසියෙන් වෙඩි තබයි, එක් අයෙකු මරමුවට

රඹුක්කන නගරයේ අද පැය 15කට අධික කාලයක් පැවති විරෝධතාවය විසුරුවාහැරීමට පොලිසිය වෙඩි තැබූ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව බීබීසී සිංහල සේවයට පැවසීය මේ අතර කෑගල්ල රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ එක් තුවාලකරුවකු ජිවිතක්ෂයට පත්වූ බවයි.

රඹුක්කන විරෝධතාවයේදී වෙඩි වැදීම් තුවාල ලැබු පුද්ගලයෙකු මිය ගොස් තුවාල ලැබු තවත් සාමාන්‍ය මිනිසුන් 11 දෙනෙකු හා පොලීසියේ 10 දෙනෙකු කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරිය සදහන් කළාය. තුවාල ලැබු දෙදෙනෙකු මේ වන විට සැත්කම්වලට ලක්කරමින් ඇතැයි ඇය සඳහන් කළාය.

ඉන්ධන මිල ඉහළ දැමීමට සහ ඉන්ධන හිඟයට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසක අද (අප්‍රේල් 19) විරෝධතා පැවැත්වුණි. ඒ රඹුක්කන, හිඟුරක්ගොඩ, බද්දේගම, දිගන, ගම්පොළ, රත්නපුර, සහ තෙල්දෙණිය යන ප්‍රදේශවලයි.

රඹුක්කන නගරයෙන් දුම්රිය මාර්ගය අවහිර කිරීම නිසා එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක් ද ඇතිවිය.

ඊට අමතරව රඹුක්කන නගරයේ කඩ සාප්පු සහ ව්‍යාපාරික ස්ථාන රැසක් ද මෙම විරෝධතාවන්ට සහාය පළකරමින් වසා දමා තිබේ.

රඹුක්කන දී පොලීසිය විරෝධතාකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කළේ ය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ විරෝධතාකරුවන් දොළොස්දෙනෙකු රෝහල්ගත කර ඇත.

live ammo rambukkana 19 april 2022

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ රඹුක්කන දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ විරෝධතාවේ නිරත පිරිස විසුරුවා හැරීමට වෙඩි තැබූ බව යි.

විරෝධතාකරුවන් වෙත කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ ඔවුන් පොලිස් නිලධාරීන්ට පෙරලා ගල්මුල් ප්‍රහාර එල්ලකළ බවත්, එවිට පොලිසිය ඔවුන්ට වෙඩි තැබූ බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

විරෝධතාකරුවන්ගෙන් පහර කා තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ද රෝහල්ගත කර ඇතැ යි ඔහු ප්‍රකාශ කළේ ය.

Sri Lanka police use live ammo to disperse protestors at Rambukkana, 19 April 2022
ඡායාරූප ශීර්ෂ වැකිය,පොලීසිය විරෝධතාකරුවන්ට ජීව උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇත

ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි

රඹුක්කන ප්‍රදේශයේ අද සවස සිදු වූ සිද්ධියෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කම්පනයට සහ කණගාටුවට පත් වඇති බවට එම සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, විරෝධතාකරුවන්ගේ සැබෑ දුක්ගැනවිලි සැලකිල්ලට ගනිමින් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඉතා සංයමයකින් ක්‍රියා කරන බවට රජය සහතික විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

“2022 ජනවාරි මස තරම් ඈත කාලයකදී අප විසින් කරන ලද පූර්ව අනතුරු ඇඟවීම් බලධාරීන්ගේ අවධානයට ලක් නොවීම ගැන අපි කනගාටු වෙමු,” ශ්‍රී ලංකා නීතිඥ සංගමය පැවසීය.

“මේ රටේ ජනතාවගේ අයිතීන් සුරැකීමට අපේ සාමාජිකයන් උපරිමයෙන් කටයුතු කරන බවද නීතිඥ සංගමය සඳහන් කළේය.”

මේ අතර මාතර, ගාල්ල, අලුත්ගම, පානදුර, අවිස්සාවේල්ල, සහ මාවතගම ප්‍රදේශවල ද මාර්ග අවහිර කර මහජනතාව විරෝධතාවයන්හි නිරතවී ඇත.

මීට අමතරව, අනුරාධපුර නව බස් නැවතුම්පොළ ඉදිරිපිට සිට ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ද ජනතාව අනුරාධපුර නගරයේ විරෝධතාවයක නිරතව සිටියි. ගාල්ල හා මාතර නගරයේ ද මෙවැනි විරෝධතාවක් පැවැත්වේ.

BBC