ක්‍රිකට් පිටියේ සිටි මහානාම සහ රාමනායකත් ගොල් ෆේස් පිටියට

රටේ පවතින අර්බුද හමුවේ නිසි විසඳුම් ලබා දීමට අසමත් ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වන්නට යැයි බලකරමින් ගාලුමුවදොර පිටියේ 5වැනි දිනටත් නොකඩවා පැවැත්වෙන මහජන විරෝධතාව සඳහා මෙරට හිටපූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන රොෂාන් මහානාම සහ චම්පික රාමනායක අද (13) එක් වී සිටිනු දැකගත හැකි විය.
මෙරට විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන ව්ද්වතුන් මෙන්ම ක්‍රීඩකයින් හා කලාකරුවන්ද අද දිනයේද එම විරෝධතාවට එක්ව සිටි අතර අප වෙත අදහස් දැක්වූ රොෂාන් මහානාම කියා සිටියේ මෙවන් තත්වයකට මෙරට ඇදවැටීම සම්බන්ධයෙන් මෙතෙක් රට පාලනය කළ දේශපපාලනඥයින් වගකිවයුතු බවත් මින් ඉදිරියට දේශපාලඥයින් මහජන සේවකයින් ලෙස සැලකිය යුතු බවත්ය.
“අද මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි තත්වයකට ඔවුන් පත්වෙලා. ඔවුන්ට අද මහපාරෙ රස්තියාදු වෙන්න සිදුවන තත්වයකට පත්කරලා. එහෙම වුණේ මෙරට අදූරදර්ශී පාලකයින්ගෙ වරදින් බව පැහැදිළියි. එනිසා කිසිදාක පාරට නොබසින ජනතාවටත් අද තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සටන් කරන්න සිදුවෙලා තිබෙනවා. ඉතිං මෙවන් අසීරු අවස්ථාවක අපි අපේ යුතුකම සහ වගකීම ඉටුකළ යුතුයි කියන තැන මම ඉන්නවා. එනිසයි අද මම මේ ජනතාව සමග එකතුවෙලා ඉන්නෙ. අපිට පුද්ගලිකව ගත්තොත් වෙන රටවල පදිංචියට යන්න පුළුවන්. ඒත් අපි පවුලෙ හැමෝම අපි ඉපදුන මේ රටට ආදරෙයි. දැන් අපේ ජීවිත කාලයෙන් තුනෙන් දෙකක් පමණ ගෙවිල ඉවරයි. එනිසයි අපි කියන්නේ අපිට නැතත් අනාගත පරම්පරාවට හරි ඉන්න රටක් ඉතිරි කරල තියෙන්න ඕන. ඒ වෙනුවෙන්
දූෂිත පාලකයින්ගෙන් මේ රට බේරගන්න අපි කවුරුත් එකතු වෙන්න ඕන. ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න අය තමන්ගේ පැවැත්මට කටයුතු කරන්නෙ නැතුව දැන්වත් එකතු වෙලා රට ගැන හිතලා තීරණ ගත යුතුයි කියලයි මා කියන්නෙ.“ යනුවෙන්ද මහානාම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසීය.
වත්මන් අර්බුදයට එරෙහිව මේ නැගිටීම මගින් ජනතාව එකමුතු වූ බවත් දේශපාලඥයින් මේ අවස්ථාවේ බල තණ්හාව අතහැර කටයුතු කළ යුතු බවද රොෂාන් මහානාම තවදුරටත් සඳහන් කළේය. එසේම එහිදී අප වෙත අදහස් දැක්වූ චම්පික රාමනායක සඳහන් කළේ, ජනතාව වෙනත් කිසිදාක නොවූ අයුරින් වර්තමානයේදී දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දී ඇති බවයි. එබැවින් මේ අරගලය ජයගැනීම සඳහා මෙරට සියලු දෙනා එක්වී මහජන විරෝධයට සහයෝගය දැක්විය යුතු බවද රාමනායක පැවැසීය.