- හිගන දේශපාලනඥයෝ ජනතාව මන්දපෝෂණයට තල්ලු කරති
- ජනතාව කුස ගින්නේ තබා දේශපාලන මැක්කන් නත්තලට රට සවාරි යති
අසේල විතාන
සංවර්ධිත රටක් යනු සෑම මිනිසෙකුටම එක හා සමානව කාලා බීලා ඇඳලා සැපට ඉන්න පුළුවන් රටකි. මන්දපෝෂණයෙන් පෙළෙ රටක් යනු ඉන්න හිටින්න තියා කන්න අඳින්නවත් නැති රටකි. මේ රටවල් දෙකම බිහිකරනු ලබන්නේ දේශපාලනඥයෝ හෙවත් දේශපාලුවන් වීමෙන් දුක් විඳින්නේ අහිංසක ජනතාවය. දේශපාලනඥයෝ සැම විටම සැපෙන් සිටිති.
ශ්‍රී ලංකාවද මේ ගමන් කරන්නේ ආර්ථික මෙන්ම මන්දපෝෂණ යුගයක් කරා බවට දැන් වාර්තා වෙමින් තිබේ. රට්ටුන්ව හඩවා සුරසැප විඳාින මැති ඇමැතිවරුන් නත්තල වෙනුවෙන් සුපිරි සාජ්ජ දමන්නට රටෙන් පිටව ගොසිනි. ඒ සංඛයාව 75 කටත් වැඩිය. ජනතාවගේ කර මතින් පාර්ලිමේන්තු යන දේශපාලනඥයන්ට ජනතාව අවශ්‍ය වන්නේ ඡන්දය දෙන දාට පමණි.
අගාධයෙන් අගාධයට යන රටවල් අතරට පත්ව සිටින ශ්‍රී ලංකාව ගොඩ ගන්නවා වෙනුවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දැන් සැරසෙන්නේ ඊළග මැතිවරණය ජය ගනිමින් ඇමැති පුටුවක් වෙන්කර ගැනීමටය. මේ රටේ වැඩිම කාළයක් මැති ඇමැතිවරු දරපු මන්ත්‍රී ලැයිස්තුව අපි ඔබට ඉදිරියේදී සඳහන් කරන්නෙමු. දැන් ඊට කාලය නොවන්නේ රටේ ඊටත් වඩා අවුලක් ඇති බැවිනි.
මිනිසුන්ට ජීවත් වෙන්න පළමුව අවශ්‍ය වන්නේ ආහාරය. අද රසායනික පොහොර නවතා දමා ජනතාව කබලෙන් ලිපට තල්ලු කිරීමට රටකරවන තකතීරුවන් ක්‍රියා කර තිබේ. රසායනික පොහොර නවතා දමනවානම් ඒ වෙනුවට ඇති හැටියට දෙන්නට කාබනික පොහොර තිබිය යුතුය. කාබනික පොහොර තැන් දෙක තුනක සකස් කළ පමණින් රටේ පළදාව ලැබෙන්නේ නැත. එය කළ යුත්තේ දිස්ත්‍රික් මට්ටමින් හෝ පළාත් මට්ටමිනි. ආණ්ඩුව පළමුව ඇදගෙන නාගත්තේ මේ රසායනික පොහොර කතන්දරයෙනි.
රසායනික පොහොර යොදා අක්කරයකින් තේ කිග්‍රෑ 1000 ක් කැඩූ ඉඩමකින් දැන් කඩන්නේ තේ කි.ග්‍රෑ තුන් හාරසියයක් පමණි. ඒ පවුල නන්නත්තාරය. කුඹුරුවල ගොයම් කරල් පීදෙනවා වෙනුවට බොහෝ අමාරුවෙන් නැගිටින්නට වෙර දරන බවක් පෙනෙයි. එළවලු මිල අහස උසට නැග තිබෙන්නේ මේ පොහොර විප්ලව නිසාවෙනි. ලෝක ව්‍යසනයක් තිබෙද්දී දරදඩු තීරණ ගනිමින් ජනතාවගේ ආර්ථිකයට හෙණහුරා පාත්කරන්නට කෝවිඩ්ට වැඩිය වසංගතයක් ආවේනම් ඒ පොහොර අර්බුදය වේ. මාළු මිරිස් කිලෝ එකක් පසුගියදා රුපියල් දහසක් විය. දැන් ගෙවල්වල එළවලු කන්නේ නැත. මස් මාළුද කන්න සල්ලි නැත. මන්දපෝෂණයේ ආරම්භ එන්නේ ඒ සමගයි.
මිනිස් ශරීරයට අවශ්‍ය ඛනිජ ලවණ සහ විටමින් ලැබෙන්නේ ආහාර මගිනි. දැන් ආහාර කන්න සල්ලි නැතිවෙන විට මිනිසුන් නිරායාශයෙන් ලෙඩ වෙති. ගෙදර ගින්දර වැඩි වෙයි. නමුත් මැති ඇමැතිවරුන්ගේ ගෙවල්වල ගෑස් පුපුරන්නේ නැත. ආහාර අඩුවක් නැත. ඔවුන්ට දොළ පිදේනි දෙන බත් කන හරක්ද මේ රටේ තව බොහෝ සිටිති. කටවුට් එපා කියමින් ජනධිපති ගෝඨාභය ඡන්ද ව්‍යාපාරය ඇරඹුවද දැන් ඇමැතිවරුන් මෙන්ම වන්දි බ්ට්ටයන්ගේ කටවුට්ද ටවුන්වල ඕනෑ තරම් තිබේ. නමුත් මොළ ඇති කිරි බී වැඩුණු මිනිසුන් සමාජයක් සිටිනා රටක කටවුට්වලට මනාපයක් ඊළග වතාවේදී වච්චයි යන්න සමාජයේ කතිකාවතක් ගොඩ නැගී තිබේ.
වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනූව ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට ප්‍රතිශක්තීකරණය ලබා ගැනීමට නම් එක් දිනකට පුද්ගලයකු ග්‍රෑම් 400 බරකින් යුතු එළවළු පළතුරු ප්‍රමාණයක් පරිභෝජනය කළ යුතුයි. තුන්දෙනෙක් සහිත පවුලකට දිනකට එළවලු සහ පළතුරු කිලෝ එකහමාරක් එකතු කරගත යුතුය. නමුත් එක් කිලෝවක් ගන්නට අද රුපියල් දහසක් වැය වන කාලයක මන්පෝෂණය නවතා ගත හැකිද යන්නත් ගැටලුවකි.
රටේ මොන අවුල තිබ්බත් විපක්ෂය කඩේ යන්නේ ඔවුන්ගේ බඩගෝස්තරවාදී දේශපාලන ඉලක්කයටය. ආණ්ඩුවේ සිටින ඇතැම් මැති ඇමැතිවරුද ඊළග බඩගෝස්තරවාදී දේශපාලන අරගලයක නිරතව සිටියි. ජනාධිපති ගෝඨාභය කෙරෙහි මේ රටේ මිනිසුන් තැබූ විශ්වාසය දිනෙන් දින කීතු කීතු කැඩී බිීඳී යති. ගෝඨාටත් බැරිනම් මේ රට කරන්නට තවත් පොරක් ගෙන එන්නට මිනිසුන් උත්සහ කරති. මොන පොර ආවත් තුනටිය කැඩුනදාට වෙදකම් කරන්නට කාලයක් වැය වන බව සියල්ලෝම දැන ගත යුතුව ඇත. දැන් අපිට ඇත්තේ තුනටිය කැඩුන රටකි. වත්මන් පාර්ලිමේන්තුවේ 228 ටම ඡන්දය යළි දෙන්නේනම් එය මිහිපිට කරගන්නා එක්තරා පාපයක් යැයි අපි විශ්වාස කරමු. ඒ ඔවුන්ගේ කල්කිරියාව ගැන හොඳින් දන්නා බැවිනි.