අද සිට යළිත් පැයක් විදුලිය කපයි

පසුගිය දා අලුත්වැඩියා කළ නොරච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර ඊයේ (31) ජාතික පද්ධතියට එක් කළද එම ජනන යන්ත්‍රය නැවතත් අද වන විට අක්‍රිය වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව යන්ත්‍රයෙහි හටගත් තාක්ෂණික දෝෂයක් නිසා අලුත්වැඩියා කළ 3 වන ජනන යන්ත්‍රය එසේ නැවතත් අක්‍රිය වී ඇති අතර ඒ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් අහිමිවී ගොස් තිබෙන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මේ අතර අධික විදුලි ඉල්ලුම හේතුවෙන් අද සවස 6.30 සිට 8.30 දක්වා අතර කාලයේ පැයක පමණ විදුලිය විසන්ධිවීමේ හැකියාවක් පවතින බවට කළින් ප්‍රකාශ කර සිටියද විදුලි බල මණ්ඩලය දැන් පවසන්නේ පවතින විදුලි අර්බුදයට විසඳමක් ලෙස අද සිට රාත්‍රී කාලයේදී පැයක් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකරන බවයි.