දරුවාට ප්‍රතිකාර නොකර මියයන තුරු යාච්ඤා කරලා

තම දරුවාගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර නොකර මිය ගිය දරුවා ඇඳ මත තබා ගනිමින් දිගින් දිගටම තම ආගමික විශ්වාසය මත යාච්ඤා කරමින් සිටි මාපිය යුවළක් පිළිබඳ පුවතක් බඩල්ගම පොලිස් වසමෙන් වාර්තා වේ.

දස හැවිරිදි පිරිමි දරුවකු මියගොස් සිටියදී පෙරේදා (9) සවස බඩල්ගම පොලිස් නිලධාරීන් විසින් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසීය.

බඩල්ගම පොලිස් වසමේ ආඩිමුල්ල ප්‍රදේශයේ නිවෙසකින් පෙරේදා සවස සැක සහිත දුර්ගන්ධයක් හමන බවට පොලිසියට තොරතුරක් ලැබීමත් සමඟම විමර්ශන ඇරැඹූ පොලිස් නිලධාරීන් එම නිවෙසේ කාමරයක් තුළ ඇඳක් මත වයස අවුරුදු 10ක පමණ පිරිමි දරුවකු මියගොස් ඇති බවට අනාවරණය කර ගෙන තිබේ.

එම දරුවා පසුගිය 7දා උදෑසන උගුරේ සෙම සිරවීමක් නිසා අසනීප වී ඇති අතර, එම අසනීපය සුව කර ගැනීම සඳහා ඔහුගේ මව්පියන් විසින් ඔවුන් විශ්වාස කරන ආගමට අනුව යාඥා කිරීම් කර ඇත. එම යාච්ඤා කරන අතර තුර දරුවා මියගොස් තිබෙන බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

තවදුරටත් මේ දරුවාගේ ප්‍රාණය රැක ගැනීම සඳහා දරුවාගේ මව්පියන් විසින් නොකඩවා යාච්ඤා කරමින් සිට ඇති බවත් කිසිදු අවස්ථාවක දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කර නැති බව ද විමර්ශනවලදී අනාවරණය කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව එම දරුවාගේ මවත් පියාත් නිවෙසේ සිටි මිත්තණියත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිදු වීම සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කොට පශ්චාත් මරණ පරික්ෂණය සහ වැඩි දුර විමර්ශන කටයුතු කිරීමට නියමිතව තිබිණි. වැඩි දුර විමර්ශන කටයුතු බඩල්ගම පොලිස් ස්ථානය විසින් කිරීමට නියමිතව තිබිණි.