පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට මෙහෙයවන සියලු අපරාධ වහාම නතර කරන්න – ජනාධිපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවත්, එවැනි සිදුවීම් ඉදිරියේදී නොවීමට බන්ධනාගාරය තුළ ජංගම දුරකථන භාවිතය නතර කරන ලෙසත් බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ ඊයේ (01 වැනිදා) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
බන්ධනාගාරය හෝ පොලිසිය බිඳ වැටී ඇත්නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය බලපාන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, කුමන දේශපාලන මතයක් දැරුවද නිලධාරියකු හරි දේ කරන්නේ නම් එය අනුමත කරන බවත්, දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් නිවැරදි තීන්දුවක් ගත යුතු බවත් පැවසීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු ඉවත් කොට සම්පූර්ණයෙන් විධිමත් කිරීම සඳහා මෙහිදී කමිටුවක් ද පත් කෙරිණි.