සජින් වාස් නඩුව කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් වසර පහකට ආසන්න කාලයක් තුළදී රුපියල් තිස්කෝටි හැට දෙලක්‍ෂයකට අධික මුදල් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන 18 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (01දා) නියෝග කළේය.
එම නඩුවේ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතා ඊයේ (01දා) අධිකරණය හමුවේ පෙනී සිටි අතර පැමිණිල්ලේ සෙසු සාක්‍ෂිකරුවන් කැඳවා නඩුවේ වැඩිදුර සාක්‍ෂි විභාගය පැවැත්වීමට දින නියම කරන ලෙස පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එලෙස දින නියම කළේය.